ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස අතර ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුද සිටින බව එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී, කොපමණ පිරිසක් මියගියේද යන්න ස්ථිරව සඳහන් කර නොමැති එම නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම ප්‍රහාරයට ගොදුරු වූ ඇමෙරිකානුවන් සම්බන්ධයෙන් අවශ්‍ය හැකි සෑම පහසුකමක්ම සපයන බවයි.
එමෙන්ම, පාස්කු දින උදෑසන එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව පවසන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා, ආගමික ස්ථානවල රැස්ව සිටි හෝ තම පාස්කු ආහාරය රස විඳිමින් සිටි අසරණ සිවිල් වැසියන් ඉලක්ක කිරීම ගෝලීය සාරධර්මවලට සහ නිදහසට කළ අවමානයක් බවද අවධාරණය කරයි.
අන්තගාමී ත්රස්තවාදයේ එකම අරමුණ සාමයට සහ ආරක්ෂාවට තර්ජනය කිරීම බව පවසන රාජ්‍ය ලේකම්වරයා, ඇමෙරිකා එක්සත් ජනපදයේ බලවත් ශෝකය මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස් වෙත යොමුකරන බවත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය ත්‍රස්තවාදය පරාජය කිරීමට සටන් කරන්නේ ඇයිදැයි යන්නට මෙවැනි ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර නිදර්ශනයක් බව පවසන රාජ්‍ය ලේකම්වරයා, මෙම ම්ලේච්ඡ අන්තවාදය පරාජයට පත්කිරීමටත්, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීමටත් ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග ඇමෙරිකාව එක්ව සිට ගන්නා බවද තවදුරටත් අවධාරණය කරයි.