තමාට තමාගේ දේශපාලන අනාගතය වැදගත් නොවන බවත්, තමන්ට තමාට වඩා වැදගත් වන්නේ රටේ අනාගතය බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.
ඉන්දියාවේ 73 වැනි නිදහස් දින සැමරුම් දේශනය පසුගිය 15දා දිල්ලි අගනුවර රතු බලකොටුවේ සිට සිදුකරමින් හෙතෙම මෙසේ පවසා සිටියේය.
"මම මගේ දේශපාලන අනාගතය ගණන් ගන්නේ නැහැ. මට 'මට වඩා' වැදගත් වෙන්නේ රටේ අනාගතයයි."
ජම්මු -කාශ්මීරය භුක්ති විඳින ලද විශේෂ බලතල ඉවත් කිරීමට තමා ගත් තීරණය නිසා සිය රටේ කලින් පැවති ශ්‍රී විභූතිය යළිත් ස්ථාපනය වීමක් සිදුවනු ඇති බවත්, ඉන්දියාවේ අනාගත සංවර්ධනයේදී කාශ්මීරය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
අගමැති මෝදිට අනුව 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්‍රතිපාදන මගින් කාශ්මීරයටදී තිබුණ, වෙනත් ප්‍රාන්තවලට නොමැති විශේෂ බලතල මගින් සිදුව ඇත්තේ දූෂණ දිරිගැන්වීමක් පමණි.
1947 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලද ඉන්දියාව, පාකිස්තාන නිදහස් සමරු දිනයට දවසකට පසු සිය නිදහස් දිනය සමරනු ලැබුණි. එදා බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව සහ පාකිස්තානය යනුවෙන් රාජ්‍යයන් දෙකක් බෙදා වෙන්කරමින් මෙම නිදහස පිරිනමනු ලැබිණි.
මේ අතර, පසුගිය 14දා පාකිස්තාන නිදහස් දින කතාවේදී අදහස් දැක්වූ අගමැති ඉම්රාන් ඛාන්, ජම්මු-කාශ්මීරය සම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳ ඉන්දියාව දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.
"ලෝකයේ ඇස පාකිස්තානය වෙත යොමු වෙමින් පවතිනවා. ඉන්දියාව විසින් ඇති කරන ලද මේ අඳුරු සමය තුළ මේ කාරණයට ඔබේ වගකීමක් ඇති බව අපි ලෝකයට කියනවා. වේදිකාව කුමක් වුනත් මම ඒ හැම වෙදිකාවකම කාශ්මීර් ප්රශ්නය මතු කරන නියෝජිතයා බවට පත් වෙනවා." අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය.
එහෙත් සිය කතාවේදී අගමැති මෝදි පාකිස්තාන අගමැතිවරයාගේ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර නොදැක්වීමද විශේෂත්වයකි. ඒ වෙනුවට 'ආර්ටිකල් 370' ව්‍යවස්ථා ප්රතිපාදනය අවලංගු කිරීමට එරෙහිව සියරට තුළම අදහස් දක්වන කණ්ඩායම් ඔහු දෝෂදර්ශනයට ලක් කළේය.
"ඔවුන් දේශපාලන සූදුවක නිරත වෙමින් සිටිනවා. අතීතයේ අපේ රටේ බලයේ සිටි ආණ්ඩුවලට මේ වගේ නිර්භීත තීන්දුවක් ගැනීමේ ශක්තියක් තිබුණේ නැහැ. මොකද? එම ආණ්ඩු ඔවුන්ගේ දේශපාලන අනාගතය ගැන සැලකිලිමත් වුණා. මම මගේ දේශපාලන අනාගතය ගණන් ගන්නේ නැහැ. මට 'මට වඩා' වැදගත් වෙන්නේ රටේ අනාගතයයි." අගමැති මෝදි වැඩිදුරටත් අවධාරණය කළේය.