තම බසයේ සුක්ඛානම හැසිරවීම වඳුරෙකුට භාරදීම සම්බන්ධයෙන් ඉන්දීය බස් රථ රියදුරෙකුගේ සේවය අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
දකුණුදිග කර්නාටක ප්රාන්තයේදී මෙම සිදුවීම සිදුවන විට බස් රථයේ මගීන් 30ක් පමණ ගමන් කර ඇති බවත්, මගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් මෙවැනි ක්රියාවක් සිදුකිරීම වැරදි බව පවසමින් රජයේ මාර්ගස්ථ මගී ප්රවාහන සංස්ථාව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත්, සමාජජාල තුළ වඩාත් උද්දාමයෙන් නරඹා තිබූ මෙම වීඩියෝවට සම්බන්ධ බස් රථ රියදුරට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් සමාජජාල පරිශීලකයන් කණස්සල්ලට පත්ව ඇති බව කියැවෙයි.
එහිදී, එක් ට්විටර් පරිශීලකයෙකු පවසා තිබුණේ ඔහුට යළිත් මෙවැන්නක් සිදු නොකරන ලෙස අවවාද කිරීම හැර ඔහුගේ සේවය අත්හිටුවීම කිසිසේත්ම සාධාරණ නොවන බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය ඇසින් දුටුවන්ට අනුව එම බස් රථය වෙත මගියෙකු මෙම වඳුරාද සමග ගොඩවී ඇති අතර, එම වඳුරා බස් රථයේ අන් කිසිදු ස්ථානයක වාඩි නොවී බස් රථයේ ඉදිරිපසම වාඩිවීමට උනන්දු වී තිබේ.
අනතුරුව ප්රකාශ් නමැති මෙම රියදුරා තමාට හමුවූ මෙම අලුත් මිතුරාට බස් රථයේ සුක්ඛානම මත වාඩිවී එය අල්ලාගෙන යෑමට සුළු වේලාවකට අවස්ථාවක් ලබාදී ඇත. එහිදීද වඳුරා සුක්ඛානම අල්ලාගෙන සිටින තාක් ඔහු එක් අතකින් සුක්ඛානම පාලනය කරගෙන ඇති බවද කියැවෙයි.
එමෙන්ම, වඳරාද කිසිදු කලබලයකින් තොරව සිය ගමනාන්තය තෙක්ම මාර්ගයේ ඉදිරිපස බලාගෙන ඉතා සංයමයෙන් රියදුරු වෘත්තිය සිදුකර තිබේ.
අවසානයේදී වඳුරා සිය ස්වාමියා සමග බැසගොස් ඇති අතර, ඉන් පසුව රියදුරු ප්රකාශ් බස් රථය නියමිත ගමන් වාරය සුපුරුදු පරිදි සිදුකර ඇත.
මෙවැනි වාතාවරණයක් තුළ ඔහු වෙනුවෙන් අදාළ මර්ගස්ථ මගී ප්රවාහන සංස්ථාව ලබාදුන් දඬුවම ගැන යළි සලකා බැලිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.