රටේ වසංගතය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ දැක්වූ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බ්‍රසීල සෙනෙට් සභාව කොවිඩ්-19 පාර්ලිමේන්තු විමර්ශන කොමිෂන් සභාවක් පත්කර තිබේ.
විශේෂයෙන්ම බ්රසීලිය තුළ කොවිඩ්-19 වසංගතය තුළ ෆෙඩරල් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සහ සිදුවී හැකි අතපසු වීම් පිළිබඳව විමර්ශනය කිරීම බ්‍රසීල සෙනෙට් කොමිසමේ ප්රමුඛ අරමුණක් වී ඇත.
කෙසේ වෙතත් මෙම කොමිසම විවේචනය කරමින් එය කාලයෙන් බැහැර සැණකෙළියක් බව කියා තිබේ.
තමන් කොවිඩ්-19 වෛරස වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ආණ්ඩුකාරවරුන්ට සහ නගරාධිපතිවරුන්ට සම්පත් ලබාදුන් බව බොල්සනාරෝ කියා සිටියේය.
"බොහෝ දෙනෙක් මුදල් සොරකම් කළා. දැන් මගේ හැසිරීම විමර්ශනය කරන්න, මම ක්ලොරෝක්වීන්වලට කැමතිද? නැද්ද? කියා විමසන්න කොමිසමක් එනවා" ජනාධිපතිවරයා කියා සිටියේය.
බොල්සොනාරෝ වසංගතය හමුවේ අදක්ෂ පාලකයෙකු වූයේ හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, විවිධ ඖෂධවල නම් සඳහන් කරමින් ඒවා වසංගතය පිටුදැකීමට ඉවහල්වන බව කියමිනි. එමෙන්ම නිසි මහජන සෞඛ්‍ය ක්රියාමාර්ගයන්ද ඔහු පිළිපැද්දේ නැත. අවසානයේදී ජනාධිපතිවරයාද අසාදිතයෙකු බවට පත්විය.
කෙසේ වෙතත් බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වීරෝගා බදාදා කියා සිටියේ පරීක්ෂණය ගැන තමා කණගාටු නොවන බවයි.
"ඔවුන් මගෙන් ඉල්ලුවොත් මම යන්නම්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මා කර ඇති දේ මා විවෘතව සාකච්ඡා කරන්නම්" අමාත්‍යවරයා කියා සිටියේය.