කාන්තාවන් බුර්කා ඇඟලීම හේතුවෙන් ඔවුන් තැපැල් පෙට්ටි වගේ පෙනෙන බවත්, ඇතැම් විට ඔවුන් බැංකු මංකොල්ලකරුවන් වැනි හැඟීමක් ඇති වන බවත් බ්‍රිතාන්‍යයේ හිටපු විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසා තිබේ.
කෙසේ වෙතත්, බොරිස්ගේ මෙම ප්‍රකාශයට ඇතැම් දැඩිමතධාරී පිරිස් විරෝධයක් පළ කළද, බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් ඔහුගේ ප්‍රකාශයට යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙය බ්‍රිතාන්‍ය තුළද බුර්කාව තහනම් කිරීම සඳහා ගෙනඑන වැඩපිළිවෙළක කොටසක් විය හැකි බවද කියැවෙයි. විශේෂයෙන්ම යුරෝපයේ රාජ්‍යයන් කිහිපයක්ම මේ වනවිට පූර්ණ මුහුණු ආවරණ තහනම් කර ඇති අතර, එහි පළමු තැන ගනු ලැබුවේ ප්රංශයයි.
ප්‍රංශයේ රාජ්‍ය පාසල් තුළ ප්රකටව පෙනෙන ආගමික සංකේත තහනම් කිරීමෙන් වසර හතකට පසුව 2011 වසරේදී බුර්කා සහ නිකාබ් ප්‍රසිද්ධ ස්ථානවල ඇඟලීම ප්‍රංශය විසින් තහනම් කරන ලදී.
ප්‍රංශයේ තහනමින් මාස කිහිපයකට පසුව බෙල්ජියමද පවසා සිටියේ ආරක්ෂක හේතූන් මත අඩක් හෝ සම්පූර්ණයෙන් මුහුණු ආවණය වන ඇඳුම් ඇඟලීම තහනම් බවය.
විශේෂයෙන්ම යුරෝපය පුරා පැතිරුණු ත්‍රස්ත අවදානම සමග එතැන් සිට ඔස්ට්‍රියාව, බල්ගේරියා සහ දකුණුදිග ජර්මානු ප්‍රාන්තයක් වන බැවේරියාව මෙන්ම ඩෙන්මාර්කයද මෙම නීතිය ක්‍රියාත්මක කරන රටවල් අතරට පත්විය.
පසුගිය අගෝස්තු 01 වැනිදා සිට ඩෙන්මාර්කය තුළ මෙම නීතිය ක්‍රියාත්මක වන අතර, එහිදී, බුර්කා හෝ නිකාබ් යනුවෙන් සඳහන් නොවුණද, මුහුණු ආවරණය වන ඕනෑම ආකායකද ඇඟලුමක් දරන්නෙකු දඩයකින් දඬුවමකට යටත් කර තිබේ. ඒ අනුව, යමෙකු මෙම වරද නැවත නැවත කරන්නේ නම් ඇ.ඩො.1,500ක දඩයකට යටත් වීමට සිදුවනු ඇත.