තායිලන්තයේ බැංකොක් නුවර ප්රධාන වෙළෙඳ සැල් සංකීර්ණයක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් ඊයේ සවස 5.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ගිනි නිවන හමුදාවන්ගේ සහාය ඇතිව මේ වනවිට ගින්න මැඬපවත්වා ඇති බව සඳහන් වෙයි.
මියගිය අයගෙන් එක් අයෙකු ගින්න පැතිරීමත් සමග අදාළ ගොඩනැගිල්ලේ උඩු මහලකින් බිමට පැනීමට ගොස් වැටී මියගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එරට හදිසි ගිලන් රථ සේවය සඳහන් කර තිබුණේ පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි.
මෙම දැවැන්ත වෙළෙඳ සංකීර්ණයේ සිටි සිය ගණනක් පිරිස් වහාම ඉවත් කිරීමට කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක්ද සමාජජාල තුළ සංසරණය වෙමින් පැවතිණි.
එමෙන්ම, දැඩි කාර්යබහුල අවස්ථාවක ගින්න පැතිරීම හේතුවෙන් ගිනි නිවන රථ එම ස්ථානයට ළඟාවීමේදී වාහන තදබදයන්ට හසුවීමෙන් ගින්න මැඬලීමට තරමක් කාලය ගතවී ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණි.