කුරුබව හේතුවෙන් පාසලේදී වෙනස්කම්වලට මුහුණදුන් ඔස්ට්‍රේලියාවේ ක්වාඩෙන් බෙයිල් දරුවාගේ වීඩියෝව සමාජජාල කැලඹීමත් සමග එරට ප්‍රධාන ක්‍රීඩා උළෙලක විශේෂ ආරාධිතයා බවට පත්වීමට මෙම දරුවාට අවස්ථාව හිමිව තිබේ.
පාසලේදී හිරිහැරවලට ලක්වීම නිසා දැඩි කම්පනයකට පත්ව සිටි වයස අවුරුදු නවයක මෙම දරුවාගේ වීඩියෝව ඔහුගේ මව විසින් සමාජ ජාලයට එක්කර තිබූ අතර, අනතුරුව ලෝක ප්‍රකට පුද්ගලයන් ඇතුළුව ලොව නන්දෙසින් එම දරුවාට සහාය පළ කෙරිණි.
මෙම දරුවාද ඇබොරිජිනීස් සම්භවයක් සහිත දරුවෙකු වූ අතර, එවැනි සම්භවයක් ඇති රග්බි ලීග කණ්ඩායම් දෙකක් වූ ක්වීන්ස්ලන්ඩ් සහ නවසීලන්ත මඔරීස් කණ්ඩායම් අතර පැවති ප්‍රදර්ශන තරගයක් අතරතුර මෙම දරුවාටද එම ක්‍රීඩාකයන් කැටුව ක්‍රීඩාංගණය මැදට පැමිණීමට අවස්ථාව හිමිව තිබුණේ ඒ අනුවය.
දරුවාගේ මව වන යාරාකා බෙයිල් සතුටු කඳුළු වගුරුවමින් කියා සිටියේ තම පුතා රග්බි තරුවකවීමේ සිහිනයෙන් සැමදා ජීවත් වූ බවයි.
ඇය සිය පුතාගේ වීඩියෝව තුළ "මේ හිරිහැරවලට ලක්වීමේ ප්රතිඵලයි" යනුවෙන් සඳහන් කර තිබූ අතර, මෙම වීඩියෝව මිලියන 19කට වඩා වැඩි වාර ගණනක් නරඹා තිබුණි.