ඉස්ලාම් ධර්මයට අවමන් කිරීමේ චෝදනාවන්ට වරදකාරිය කොට මරණීය දණ්ඩනයට යටත් කිරීමෙන් අනතුරුව යළිත් නිදහස ලැබූ පාකිස්තාන ජාතික ආසියා බිබී කැනඩාව බලා ගොස් ඇති බව මේ වනවිට තහවුරු වෙයි.
කිතුණුවෙකු වූ ඇයට මරණීය දණ්ඩනය නියම කරනු ලැබ තිබුණේ සිය අසල්වැසියන් සමඟ ඇති වූ ආරවුලකදී මොහොමඩ් නබිනායකතුමාට අවමන් කළ බවට එල්ල කෙරුණ චෝදනා සම්බන්ධයෙනි.
2010 වසරේදී තමාට නියම වූ මරණීය දණ්ඩනයට එරෙහිව ආසියා බිබී පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් පසුගිය වසරේ ජය ගැනීමෙන් අනතුරුව නිදහස ලැබ සිටියාය.
තමන්, කිසිසේත්ම එවැනි අවමන් කිරීමක් සිදු නොකළ බව ආසියා බිබී දිගින් දිගටම අධිකරණය ඉදිරියේ කියා සිටි අතර, පාකිස්තානයේ බහුතර මුස්ලිම් ප්‍රජාව ඇයව මරා දමන තෙක් බලා සිටියහ.
මේ නිසාම ඇයට නිදහස හිමිවීමෙන් පසුව රට තුළ නොසන්සුන්තාවයන් පවා ඇති වූ අතර, ඇයට සහාය දැක්වූ ඇතමුන් මරා දමනු ලැබිණි.
කෙසේ වෙතත්, ඇය ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ පාකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය, චූදිත කාන්තාව නිදහස් කරමින් එම නඩුව විශ්වාසය තැබිය නොහැකි සාක්ෂි මත පදනම් වූවක් යයි ප්‍රකාශ කර තිබුණි.
එසේම බිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ 'ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි' පිරිසක් ඉදිරිපිටදී බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවාධාරණය කර තිබුණි.
දරුවන් සිව් දෙනෙකුගේ මවක වන ආසියා බිබී ඉස්ලාම් දහමට අවමන් කිරීමේ චෝදනා යටතේ මරණීය දණ්ඩනයට යටත් කරන ලද පළමු වැනි පාකිස්තාන් කාන්තාවයි.