ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46 දෙනෙකු මියයාමේ සිද්ධියත් සමග "පාකිස්තානය සම්පූර්ණයෙන් හුදකලා කිරීමට" ක්‍රියා කරන බව ඉන්දියාව අවධාරණය කරයි.
"පාකිස්තානය ජාත්‍යන්තරයෙන් හුදෙකලා කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත හැකි සියලු පියවර අනුගමනය කරනවා" යැයි ඉන්දියාවේ ෆෙඩරල් අමාත්‍ය අරුන් ජට්ලෙයි සඳහන් කරයි.
ශ්‍රීනගර් අගනුවරට ආසන්නයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ශ්‍රීනගර් - ජම්මු අධිවේගී මාර්ගයේ ආරක්ෂක හමුදාව ගමන් කරමින් තිබූ වාහන පෙළක් අසලට පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් බෝම්බකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.
පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වී ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.
දශක ගණනාවකට පසු කාශ්මීරයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සැලකෙයි.
ජයිශ්-ඊ-මොහොමඩ් ලෙස හැඳින්වෙන ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට ඉන්දියාව චෝදනා කරයි.
ඉන්දියාව කියා සිටින්නේ, බොහෝ කලක් සංවිධානගත වෙමින් සිටි ඔවුන් මර්දනය කිරීමට පාකිස්තානය අපොහොසත් වී ඇති බවයි.
ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයට එරෙහිව සම්බාධක පමුණුවන ලෙස ඉන්දියාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරනු ලැබිය යුතු යැයි ඉන්දියාව පවසයි.
කෙසේ වෙතත්, මේ සඳහා පසුගිය කාලය තුළ ඉන්දියාව ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූයේ පාකිස්තානයට හිතවත් චීනයෙන් එල්ල වූ බාධා හේතුවෙනි. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකි.
නමුත්, පාකිස්තානය සමග පවතින වෙළෙඳ ගිවිසුම් පවා අහෝසි කළ හැකි බව තවදුරටත් සඳහන් කළ ෆෙඩරල් අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ඉන්දියාව පසුබට නොවන බවද අවධාරණය කරයි.
මේ අතර, මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සිය දැඩි අවධානය යොමුව ඇති අතර, එහි වගකීම ගැන ඉන්දියාව නඟන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසයි.