නයිජීරියා මැතිවරණයෙන් පසුව ඡන්දය ගණන් කිරීම තවදුරටත් සිදුවන බවත්, ඊයේ දිනයේදී (23දා) ඇතැම් ස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව තරමක් දීර්ඝ කළ බවත් විදෙස් වාර්තා පවසයි.
මෙවර මැතිවරණයද වරක් කල් දැමීමෙන් පසුව ආරම්භ වූ අතර, මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස වත්මන් ජනපති මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනපති අටිකු අබුබකර් සිටිති.
මැතිවරණයෙන් කවරෙකු ජයග්‍රහණය කළද නයිජීරියාව මේ වනවිට මුහුණදෙන විදුලිය කප්පාදුව, දූෂණය, ජාතික ආරක්ෂාවට වූ තර්ජන සහ අඩපණ වූ ආර්ථිකය යන කාරණා සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු වෙයි.
ජනපති බුහාරි සිය උපන් ගම වූ ඩවුරා හිදී ඡන්දය ප්‍රකාශ කළ අතර, තමන් පරාජයට පත්වුවහොත් ප්‍රතිවාදියට සුබ පැතුම් එක්කරන්නේ දැයි මාධ්‍ය ප්‍රශ්න කළවිට තමා එය සිදුකරන බව ජනපතිවරයා කීය.