දරුවන් 300කට වැඩි පිරිසක් ලිංගික අපයෝජනයට යොදාගත් බවට චෝදනා ලැබූ කොලොම්බියානුවෙකුට වසර 60ක සිර දඬුවමක් නියම කර තිබේ.
ජුආන් කාර්ලෝස් සන්චේස් ලැටෝරේ ලෙස හඳුනාගත් මෙම පුද්ගලයා 2007 - 2008 කාලයේදී මෙම අපයෝජන සිදුකර තිබූ අතර, ඔහු 40 වැනි වියෙහි පසුවෙයි.
මෙසේ අපයෝජනයට ලක්වූ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ ඔහු අන්වර්ථ නාමයකින් අන්තර්ජාලයට පවා යොමුකර තිබුණි.
ව්‍යාජ හැඳුනුම්පතක් සමග වෙනිසියුලාවට පැනගොස් සිටි මොහු පසුගිය වසරේ අගභාගයේදී එරටදී අත්අඩංගුවට පත්ව යළි කොලොම්බියාවට පිටුවහල් කර තිබූ අතර, එහිදී සිදුකළ නඩු විභාගයකදී ඔහුට මෙසේ නඩු පවරා ඇත.
ඔහු අතින් අපයෝජනයට ලක්වූ දරුවන් අතර ගැහැණු දරුවන් මෙන්ම, පිරිමි දරුවන්ද සිටින අතර, අන්තර්ජාලය හරහා මෙම දරුවන් දැන හඳුනාගෙන පසුව සුපිරි වෙළෙඳ සැල් වෙත මෙම දරුවන් ගෙන්වා ඔවුන්ට මුදල් හා විවිධ දේ ලබාදෙමින් මෙම අපයෝජන ක්‍රියාවට දරුවන් නම්මවාගෙන තිබේ.
කෙසේ වෙතත්, යම් දරුවෙකු ඔහුගේ කීමට අවනත නොවුණොත්, එම දරුවන්ට මොහු පහරදී ඇති බවද නඩු විභාගයේදී ඔප්පු වී ඇත.
මේ අතර, ඔහු වෙනිසියුලාවට පලා යෑමෙන් පසුව එරටදීද මේ ආකාරයෙන් අපරාධ සිදුකරන්නට ඇති බව බලධාරීන් විශ්වාස කරයි.
නමුත්, ඔහුගේ වෙනිසියුලානු අසල්වාසීන් පවසන්නේ මෙම තැනැත්තා අපරාධකරුවෙකු බව ඔවුන් කිසි විටෙකත් විශ්වාස නොකළ බවය.