අවුරුද්දක් වයස දියණියේ සාදයට කැඳවූ දරුවන් 20 දෙනෙකු හා සිය බිරිඳ ප්‍රාණ ඇපයට ගත් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, ෆාරුඛාබාද් දිස්ත්‍රික්කයේ ගම්වැසියෙකු පැය කිහිපයක් පොලීසිය සමග සිදුකළ වෙඩි හුවමාරුවකින් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට පෙර ඝාතනයක් සම්බන්ධයෙන් සුභාෂ් භාතම් නමැති මෙම පුද්ගලයා පොලීසියට කොටුකර දීම සඳහා ගම්වැසියන් උදව් කළේ යැයි පවසමින් ඔවුන්ගෙන් පළි ගැනීමට ඔහු මෙසේ එම දරුවන් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව පසුව අනාවරණය විය.
කෙසේ වෙතත්, පැය 10කට අධික කාලයක් මෙම ප්‍රාණ ඇපකාර සිද්ධිය රඟ දැක්වුණු අතර, ඔහු දිගින් දිගටම පොලීසියට වෙඩි තැබීම නිසා විශේෂ බලකාය කැඳවීමට එරට පොලීසියට සිදුවිය.
මුලින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය උත්සාහ කළත් අවසානයේදී ඔහුගේ ජීවිතය නසා හෝ මෙය අවසන් කිරීමට පොලීසිය තීරණය කර ඇත.
ඒ අනුව, විශේෂ බලකාය ගොඩනැගිල්ලට ඇතුළු වෙමින් ඔහුට වෙඩි පිට වෙඩි තබමින් ඔහුගේ ප්‍රතිප්‍රහාරය නිහඬ කර ඇත.
මෙම සිද්ධිය ඊයේ දිනයේදී ඉන්දිය රූපවාහිනී මාධ්‍ය කිහිපයකින්ම සජීවීව ප්‍රචාරය කර ඇති අතර, සිද්ධියේදී එක් පොලිස් නිලධාරියෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි වැදී ඇත.
කෙසේ වෙතත්, අවසානයේදී ගම්වැසියන් විසින් ඔහුගේ බිරිඳටද පහරදීමක් සිදුව ඇති බවත්, එම පහරකෑමෙන් ඇයද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.