දුම්පානයට ඇබ්බැහි වූ දෙමවුපියන් ඇසුරේ හැදී වැඩුණු දරුවන් වැඩිහිටියන් බවට පත් වනවිට භයානක පෙනහලු රෝග හේතුවෙන් මියයෑමේ ඉහළ අවදානමක් පවතින බව අනාවරණය වෙයි.
ඇමෙරිකානු පිළිකා සංගමය විසින් සිදුකළ අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර ඇති අතර, ඒ සඳහා දුම්පානය නොකරන පුරුෂයන් හා කාන්තාවන් 70,900ක් යොදාගෙන ඇත. ඔවුන්ගේ ළමා කාලයේ දුම්පානයට නිරාවරණය වීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් සහ වසර 22ක් පුරා සෞඛ්‍යය තත්ත්වයද මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
මෙම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ මරණ ලක්ෂයක් ගත්විට ළමා අවධියේදී සිගරට් දුම ආඝ්‍රාණය වීම හේතුවෙන් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය 7ක් පමණ විය හැකි බවය. බොහෝවිට දරුවන්ගෙන් මෑතව දුම්පානය කිරීම, දරුවන්ට නොමැති අවස්ථාවල දුම්පානය වැනි ක්‍රම වත්මන් දෙමවුපියන් අනුගමනය කළද, වඩාත් යෝග්‍ය සහ දරුවන් රැකගැනීමට ඇති හොඳම පිළියම දෙමවුපියන් විසින් දුම්පානය අත්හැර දැමීම බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉන් නොනැවතී, මේ ආකාරයෙන් දුම්පානය කරන පරිසරයක ළමා කාලයේදී හැදී වැඩුණේ නම් තවත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවිය හැකි බවද එම අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව, සතියකට පැය 10කට වඩා දුම්පානයට නිරාවරණය වන්නන්, එසේ නොවන්නන්ට වඩා හදවත් රෝග මගින් මියයෑමේ සම්භාවිතාව 27%කි. එමෙන්ම, ආඝාතය මගින් 23%ක්ද, නිදන්ගත පෙනහලු අවහිරවිමේ රෝගය මගින් 42%ක්ද මියයෑමේ සම්භාවිතාවක් පවතින බවද එම අධ්‍යයනය අනාවරණය කරයි.
බ්‍රිතාන්‍ය පෙනහලු පදනමේ වෛද්‍ය නික් හොප්කින්සන් පෙන්වා දෙන්නේ සියලු දෙනා විසින්ම විශේෂයෙන්ම කුඩා දරුවන්ට සහ ගර්භිනී මවුවරුන්ට දුම් පානයෙන් ඉවත්වීමට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවයි.