ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනපති ෂී ජින්පිං ඉදිරි දින 90ක කාලයක් සඳහා නව වෙළෙඳ බදු පැනවීමක් සිදු නොකර, සාකච්ඡා මාර්ගයෙන් ප්රශ්න විසඳා ගැනීමේ මාර්ගයට ප්රවිශ්ඨ වූ බව ඇමෙරිකා එක්සත් ජනපදය කියයි.
ආර්ජන්ටිනාවේ, බුඑනෝස් එයාර්ස්හි පැවති G20 රාජ්ය නායක සමුළුවෙන් පසුව දෙරටේ නායක දෙපළ හා නියෝජිතයන් අතර පැවති ඉහළ පෙළේ රාජ්ය තාන්ත්රික සාකච්ඡාවකදී මෙම එකඟත්වයට පැමිණ ඇත.
එමෙන්ම, එලැඹෙන ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇ.ඩො.බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා 10%ක්ව පැවති වෙළෙඳ බදු 25%ක් දක්වා ඉහළ නැංවීමට ගත් තීරණය අත්හිටුවන බවද මෙහිදී ට්රම්ප් ප්රකාශ කර තිබේ.
ඊට ප්රතිචාර වශයෙන් ඇමෙරිකාවේ නිෂ්පාදිත කෘෂිකාර්මික, කාර්මික හා බලශක්ති නිෂ්පාදන සැලකිය යුතු ප්රමාණයක් ආනයනය කිරීමට චීනය එඟකත්වය පළ කර ඇත.
එමෙන්ම, මෙම සාකච්ඡාවේදී දෙරටේ ආර්ථිකයන් විවෘත කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණි බව චීනය සඳහන් කරයි.
මෙම වසර ආරම්භයේදී ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇතිවීමෙන් පසුව දෙරටේ නායකයන් දෙපළ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වූ ප්රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
ද්වීපාර්ශ්වික වෙළෙඳාමේදී ඔවුන් ලබන අධික ලාභය කපා දැමීමට චීනය කිසිවක් නොකරන බවට ට්රම්ප් චෝදනා කරමින් මෙම ගැටුම ඇති වූ අතර, එය ලෝක ආර්ථිකය කෙරෙහිද යම් කම්පාවක් ඇති කරවන සිදුවීමක් බවට පත්විය.