නැගෙනහිර තුර්කියේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පිරිස ඊයේ (26දා) වනවිට 36ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, මුදා ගැනීමේ මෙහෙයුම් මේ වනවිට අඩපණ වී තිබේ.
රික්ටර් පරිමාණ 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව තුර්කියේ එලාසිග් පළාතේ සිකුරාදා රාත්‍රියේ හටගත් අතර, මින් ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්විය.
මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු පමණ සුන්බුන් අතරින් ජීවග්‍රහණයෙන් බේරාගැනීමට හැකිවී ඇත.
අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු පැවසුවේ ගලවා ගැනීමේ මෙහෙයුම බොහෝ දුරට අවසන් කර ඇති නමුත් සුන්බුන් අතර සිරවී සිටින 6 දෙනෙකු බේරාගැනීම සඳහා තවමත් කණ්ඩායම් කිහිපයක් උත්සාහ කරන බවයි.
"භූමිකම්පාවෙන් පසු මේ වනවිට පැය 36ක් පමණ ගතවීවෙලා. නමුත් අපි තවමත් අපේක්ෂා කළ හැකි පැය ගණනක සිටිනවා" ඔහු ඉරිදා ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, 104 දෙනෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව බලධාරීහු පවසති.
භූ තැටි දෙකක් අතර පිහිටා ඇති තුර්කියට බලවත් භූමිකම්පා පිළිබඳ ඉතිහාසයක් ඇත. 1999 දී බටහිර නගරයක් වන ඉස්මයිට්හි ඇති වූ භූමිකම්පාවකින් 17,000ක් පමණ මිය ගියහ.