නැගෙනහිර තුර්කියේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එලාසිග් පළාතේ සිව්රිස් නගරය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් පරිමාණ 6.8ක භූ කම්පනයක් ඇති වී තිබෙන අතර මෙම භූ කම්පනය නිසා නිවාස හා ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇත.
සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු බේරාගෙන ඇති අතර, 20කට වැඩි පිරිසක් සිරවී සිටීන බව එසේ බේරාගත් පිරිස් පවසති.
තුර්කියේ භූමිකම්පා බහුලව දක්නට ලැබෙන අතර, 1999 දී බටහිර නගරයක් වන ඉස්මිත්හි ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 17,000ක් පමණ මිය ගියහ.
සිකුරාදා භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 08:55 ට පමණ ඇතිවී තිබේ. එමෙන්ම මෙම භූ කම්පනය අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානය තුළද කම්පන තරංග ඇති කර තිබේ.
මෙම ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව පසුකම්පන 200කට වඩා වාර්තා වූ බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.