ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ට්රම්ප් කුලුනේ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව, ගිනි නිවන භටයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
මියගිය තැනැත්තා ගොඩනැගිල්ලේ වාසය කරන අයෙකු බවත්, ඔහු රෝහලට රැගෙන යන අවස්ථාවේදී ජීවිත්ෂයට පත්වූ බවත් ගිනි නිවන හමුදාව පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ට අයත් මෙම ගොඩනැගිල්ලේ ට්රම්ප්ට අයත් නිවාසයක් මෙන්ම ඔහුගේ කාර්යාලයද වෙයි.
කෙසේ වෙතත්, මේ වනවිට ට්රම්ප්, බිරිඳ මෙලානියා සහ බාල පුතු බැරන් වොෂිංටනයේ ජීවත් වෙති.
ගින්න ඇතිවී තිබෙන්නේ ගොඩනැගිල්ලේ 50 වැනි මහලෙහි මහල් නිවාස හා කාර්යාල පිහිටි ස්ථානයකය බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ග්රිනීච් වේලාවෙන් ප.ව.10.00ට පමණ ඝන කළු දුමාරයක් ගොඩනැගිල්ලේ ඉහළ මහලකින් පිටතට විහිදෙන ආකාරය ඡායාරූපවලට නැගී තිබුණි.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇරමෙරිකානු ජනපතිවරයා පවසා තිබුණේ කුලුනේ ඇති වූ ගින්න මැඬපවත්වා ඇති බවයි. කුලුණ ඉතා ආරක්ෂිත ආකාරයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් බවත්, ගිනි නිවන භටයන් ගින්න මැඬපැවැත්වීම සඳහා උපරිම දායකත්වයක් දක්වා ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.