කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් මිනියාපොලිස් හි පොලිස් ස්ථානයේ හිටපු නිලධාරි ඩෙරෙක් චාවින් වරදකරු කරමින්, ඔහුට මාස 270ක හෝ අවුරුදු 22.5ක සිර දඬුවමක් නියම කර තිබේ.
තීන්දුව ප්රකාශයට පත්කරමින් විනිසුරු පීටර් ඒ. කාහිල්, පිටු 22කින් යුතු ලියවිල්ලකින් මෙම දඬුවම සඳහා හේතු දක්වා ඇති අතර, ෆ්ලොයිඩ්ගේ පවුලේ වේදනාව තමා පිළිගන්නා බවත් සඳහන් කර ඇත.
"මම මගේ දඬුවම පදනම් කර ගෙන ඇත්තේ මහජන මතය හෝ කිසිදු පණිවිඩයක් යැවීමේ උත්සාහයක් මත නොවෙයි" කාහිල් පැවසීය. "නඩු විභාග විනිසුරුවරයෙකුගේ කාර්යය වන්නේ කරුණුවලට නීතිය ක්රියාත්මක කිරීම සහ අදාළ නඩු විභාගය සම්බන්ධයෙන් කටයුතු කිරීමයි."
කෙසේ වෙතත් මෙහිදී පැමිණිලිකරුවන් බලාපොරොත්තු වී තිබුණේ, උපරිම වශයෙන් මාස 360ක හෝ අවුරුදු 30ක සිර දඬුවමකි.
චාවින් ඉතා කෙටියෙන් කථා කරමින්, අනාගතයේදී යහපත් දෙයක් සිදුවනු ඇති බවත්, ෆ්ලොයිඩ්ගේ පවුලට ශෝකය ප්රකාශ කරන බවත් කියා සිටියේය.
චාවින්ගේ මව කතා කරමින් කියා සිටියේ චාවින් කිසිවිටෙකත් ජාතිවාදියෙකු නොවන බවයි. "මගේ පුතා හොඳ මිනිහෙක්" ඇය කීවාය.
ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දියණිය ජියානා ෆ්ලොයිඩ් වීඩියෝවෙන් සාක්ෂි දෙමින් කියා සිටියේ "මට ඔහුව (ජෝර්ජ්) අහිමි වුණා. මම ඔහුට ආදරෙයි" යනුවෙනි.
"මගේ පවුලේ අයට සහ මට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා දී තිබෙනවා. අපට කිසි විටෙකත් ජෝර්ජ්ව නැවත ලබාගන්නට බැහැ" ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සහෝදරයා වන ෆිලෝනිස් ෆ්ලොයිඩ් පැවසීය.
"මට ඔහුගෙන් දැනගන්න ඕනෙ මෙච්චරයි? ඔබ තමාගේ දණහිස මගේ සහෝදරයාගේ බෙල්ලට තියාගත්තාම ඔබ මොනවාද හිතුවේ?" ජෝර්ජ්ගේ තවත් සහෝදරයෙක් වන ටෙරන්ස් ෆ්ලොයිඩ් සඳහන් කළේය.