සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි තුර්කියේදී ඝාතනයට ලක්වූ බව අවසානයේදී සෞදි අරාබිය පිළිගෙන තිබේ.
ජාත්‍යන්තරය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම සිදුවීම හමුවේ සෞදි තානාපති කාර්යාලය තුළ සිදුවූ මෙම ඝාතනය මුලින් ලොවෙන් වසන් කිරීමට සෞදිය උත්සාහ කළත් එය අවසානයේ පිළිගැනීමට ඔවුන් සිදුවිය.
තුර්කි බලධාරීන් දිගින් දිගටම මෙම මරණය සම්බන්ධ සියලු තොරතුරු තමන් සතු බව ප්‍රකාශ කිරීමේදී අවසානයේදී තතු පැහැදීමට සෞදියට සිදුවිය.
එරට විදේශ කටයුතු අමාත්‍ය අඩෙල් අල්-ජුබීර් විසින් ෆොක්ස් පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා තිබුණේ මෙය අතිවිශාල අත්වැරැද්දක් බවයි.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් ඔටුන්න හිමි කුමරුගේ අණදීමක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවද සෞදි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත.
පසුගිය ඔක්තෝබර් 02 වැනිදා අවසන් වරට ඛෂෝගි තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට ඇතුළු වන දර්ශනයක් හැර ඔහු ඉන් පිටවීමක් දක්නට නොලැබුණි.
මෙම සිද්ධියත් සමග ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදිය වෙත සම්බාධක පැනවීමක් ගැන ඉඟි පෑමක් කළද, එසේ සම්බාධක පැනවීමෙන් සෞදියට වඩා ඇමෙරිකාවට රිදෙන බවද හෙතෙම පවසා තිබුණි. ඒ දෙරට අතර පවතින දැවැන්ත අවි ගනුදෙනු නිසාය.
නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර ප්රජාවත්, සෞදියට හිතවාදී බටහිර රාජ්‍යයන් පවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞදියට බලපෑම් කරමින් සිටියි.