යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන ජපානයේ ඔකිනාවා දූපතේ වූ ෂූරි රජ මැදුරේ ප්‍රධාන කොටසක් ගින්නකට හසුව විනාශ වී තිබේ.
මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදා පැය 10කට වඩා වැඩි කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවද කියයි.
දැවයෙන් තනා තිබුණු මෙම රජ මැදුර වසර 500ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන අතර, එය දෙවැනි ලෝක යුද සමයේදීද මෙවැනිම විනාශයකට ලක්විය.
ඒ අනුව, මෙවර ගින්නට හසුව තිබෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්‍රතිසංස්කරණය ලද මාලිගය බව කියයි.
ඔකිනාවා දූපතේ වූ විශාලතම මහජන විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස වර්ෂ 1970 දක්වා යොදා ගැනුණු මෙම ගොඩනැගිල්ල, විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගත් නිර්මාණයක්ද විය.