නව කොරෝනා වෛරසය පැතිරීම සැලකිල්ලට ගනිමින් තම ජනතාවගේ මෙන්ම සෙසු රටවල ජනතාවගේද සෞඛ්‍යය හා ආකර්ෂාව සහතික කරනු වස්, චීන පුරවැසියන්ට හැකිතාක් විදේශ සංචාරවලින් වැලකී සිටින ලෙස එරට ජාතික ආගමන විගමන පාලන ආයතනය අද (28දා) දින දන්වා තිබේ.
දේශසීමා සංචරණ අඩුකිරීම මගින් නව කොරෝනා වෛරසය (2019-nCoV) පැතිරීම වැළැක්වීමට සහ පාලනය කිරීමට උපකාරයක් වනු ඇති බව චීන බලධාරීන් පවසයි. මෙම වෛරසය මුලින්ම මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් ඉස්මතු විය.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර කල් දමන ලෙස එම ආයතනය චීන වැසියන්ගෙන් ඉල්ලා සිටින අතර, විශේෂ හේතූන් මත විදෙස් ගත වීමට අවශ්‍ය අය ගමනාන්ත රටවල හෝ කලාපවල වර්තමාන ප්‍රවේශ අවශ්‍යතා කල්තියා පරීක්ෂා කර බලන ලෙසද ඉල්ලීමක් කරයි. එසේම යමෙකු විදේශගත වන්නේ නම් අමතර පැය කිහිපයකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත්, එය ඔහු හෝ ඇය නිසි වෛද්‍ය පරීක්ෂාවකට භාජනය කිරීමට ප්‍රමාණවත් කාලයක් සහතික කිරීමේ අවශ්‍යතාවක් බවත් දන්වා සිටියි.
කෙසේ වෙතත්, කැස්ස, අතීසාරය හෝ වෙනත් උග්‍ර ශ්වසන ආසාදන වැනි රෝග ලක්ෂණ ඇති හෝ අධික උණ පවතින පිරිස් රටින් පිටවීම හෝ රටට ඇතුළුවීම වහාම නතර කර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද අවධාරණය කරයි.
එසේම, හුබෙයි පළාතේ ආගමන විගමන පාලන දෙපාර්තමේන්තුව සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර සඳහා අයැදුම්පත් අත්හිටුවා ඇති අතර හොංකොං, මැකාවු සහ තායිවානය සඳහා පිටවීමේ හා ප්රවේශවීමේ බලපත්‍රද අත්හිටුවා තිබේ. මෙම කාල සීමාව තුළ හදිසි හේතූන් මත චීන භූමියෙන් ඉවත්වීමට අවශ්‍ය අය සඳහා අනුමැතිය ලබාදීමට විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් දක්වා ඇත.