ඉතාලියේ ජෙනෝආ නගරයේ සිදුවූ ගුවන් පාලම් කඩා වැටීමේ අනතුරින් පසුව ලිගුරියා පළාත වෙත මාස 12ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ඉතාලි අගමැති ගියුසෙප් කොන්ටේ තීරණය කර තිබේ.
වයඹදිග ඉතාලියේ වූ මෙම ප්‍රදේශය වෙත කඩිනමින් ඇ.ඩො.මිලියන 5.7ක මුදලක් එරට මධ්‍යම අරමුදලින් වෙන් කිරීමටද කටයුතු කරන බව හෙතෙම පවසා ඇත.
පසුගිය අඟහරුවාදා සිදුවූ මෙම ඛේදවාචකයෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග පළාත් ආණ්ඩුව, මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මුදල් වෙන් කිරීම් සිදුව තිබේ.
මෙවැනි දැවැන්ත පාලමක් කඩා වැටීමත් සමග රටේ පවතින පොදු යටිතල පහසුකම් පද්ධතිය හා ඒවායේ නඩත්තුව සම්බන්ධයෙන් ජනතාව තුළ විරෝධාකල්පයක් හා කෝපයක් ගොඩනැගෙමින් පවතින වාතාවරණයක රජය හා පළාත් ආණ්ඩුව මෙම කඩිනම් පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, මීටර් 50ක් පමණ පහළට කඩා වැටුණු දැවැන්ත කොන්ක්‍රීට් තට්ටුවලට යටවී ජීව ග්රහණයෙන් තවත් පුද්ගලයෙකු සොයාගැනීම සම්බන්ධයෙන් ගිනි නිවන හා මුදාගැනීමේ හමුදා ඉතා අවම බලාපොරොත්තුවක් තබා තිබේ.
දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාවත් සමග මෙම පාලම කඩා වැටී ඇති බව මුලින් සඳහන් වුවත්, සැබෑ ලෙසම ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.
කෙසේ වෙතත්, මෙම පාලමේ නඩත්තු කටයුතු භාරගෙන සිටි පෞද්ගලික සමාගම වෙත දැඩි චෝදනා මේ වනවිට එල්ල වෙමින් පවතී. ජනතාව පවසන්නේ මේ ඛේදවාචකයේ සම්පූර්ණ වගකීම ඔවුන් දැරිය යුතු බවයි.