ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට මෑතකදී පැනවූ සීමා හේතුවෙන් එම ප්‍රදේශයේ මානව හිමිකම්වලට බරපතළ බලපෑම් එල්ල විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබේ.
සන්නිවේදන සබඳතා තහනම් කිරීම, දේශපාලන නායකයන් නිවාස අඩස්සියේ තබා ගැනීම සහ දේශපාලන රැස්වීම් තහනම් කිරීම පිළිබඳව එක්සත් ජාතීන් අවධානය යොමුකර ඇත.
ඉන්දීය පාලනයේ පවතින ජම්මු කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගියදා තීරණය කිරීමත් සමග එම ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා අවහිර කිරීමටද මධ්‍යම රජය කටයුතු කර තිබුණි.
එහිදී, ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවල වෙසෙන කාශ්මීර් වැසියන් පැවසුවේ, කාශ්මීර්හි වෙසෙන සිය පවුල්වල සාමාජිකයන් සමග සබඳතා පැවැත්වීමට නොහැකි වී ඇති බවය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයා කාශ්මීරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, "විරෝධතා මැඬපැවැත්වීම සඳහා බලධාරීන් සන්නිවේදන ජාලයන් අවහිර කර ඇති ආකාරය, දේශපාලන විරුද්ධවාදීන්ට දඬුවම් කිරීම සඳහා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ අධික ලෙස හමුදා බළඇණි සේවයේ යොදවා තිබීම සහ විරෝධතාවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව දැඩි අවධානයක්" යොමු කර ඇති බවය.