කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් රෝගය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ “ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමේ” තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මෙම වෛරස් රෝගය ලොව අවදානමේ ඉතා ඉහළම මට්ටමට පැමිණ ඇති බවය.
“මේ වෛරසය දැන් ඕනෑම දිශාවකට යා හැකියි. අපි අවදානම අවතක්සේරු නොකළ යුතුයි. එය දැන් පැතිරෙනවා. ගෝලීය අවදානම ඉතා ඉහළ බව අද අප පවසන්නේ ඒ නිසයි." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද (28දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔවුන් එය ඉහළ සිට ඉතා ඉහළ මට්ටමට ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.
මෙම අවදානම් පැනවීම සිදුකර ඇත්තේ වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සෙසු රටවල් සූදානම් කිරීම සඳහා බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
“අවදානම ඉතා ඉහළ මට්ටමකට ඔසවා තැබීම අත්‍යවශ්‍යයෙන්ම ගෝලීය මට්ටමින් සිදුවෙමින් පවතින දේ පිළිබිඹු කිරීමක්. මෙය රජයන් සූදානම් කිරීම සඳහා යථාර්ථය පරීක්ෂා කිරීමක්. රෝගය පැතිරීම හා බලපෑම අනුව අවදානම් තක්සේරු කිරීමේ ඉහළම මට්ටමේ අප සිටින නමුත් එය මිනිසුන් බිය ගැන්වීමට කරන්නක් නොවෙයි. අපට මෙයින් නරකම දේ වළක්වා ගත හැකිවෙනවා සේම, අපගේ සැලකිලිමත් වීමේ මට්ටම ඉහළම මට්ටමක පවත්වා ගැනීමටද හැකි වෙනවා." රයන් වැඩිදුරටත් සඳහන් කළේය.