ලොව පුරා වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති කර තිබෙන චීනයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස මිලියන එකොළහක ජනගහනයක් ජීවත් වන වුහාන් නගරයට ඇතුළු වන හා ඉන් පිටවන පොදු ප්‍රවාහනය තාවකාලිකව නවත්වා තිබේ.
එළඹෙන චන්ද්‍ර අවුරුදු නිවාඩුව සඳහා මිලියන ගණනක් චීන ජාතිකයන් පිරිසක් එහාමෙහා ගමන් කරන පසුබිමක මෙම නිවේදනය සිදුකර ඇත.
ශ්වසන පද්ධතියට බලපෑම් කරන මාරාන්තික රෝගය චීනයේ වෙනත් ප්රදේශවලටද පැතිරී ඇති අතර මේ වනවිට එක්සත් ජනපදයෙන්ද කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන තිබේ.
තහවුරු වූ රෝගීන් 500 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර 17 දෙනෙකු මියගොස් තිබේ.
මේ වන විට 2019-nCoV ලෙස හඳුන්වන මෙම වෛරසය මිනිසුන් තුළ කලින් හඳුනාගෙන නොමැති නව කොරෝනා වෛරසයක් ලෙස වටහා ගෙන ඇත. 2000 දශකයේ මුල් භාගයේදී ගෝලීය වශයෙන් 800කට ආසන්න පිරිසකට මරු කැඳවූ කළ සාර්ස් (අතිශය උග්‍ර ශ්වසන රෝගය) වෛරසයද සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම කිරීටක වෛරසයකි.
මේ වනවිට සියලුම මාරාන්තික සිදුවීම් වාර්තා වී ඇත්තේ වුහාන් අවට පළාතේ හුබෙයි නගරය කේන්ද්‍ර කර ගනිමිනි.
මේ අතර, ජිනීවා හිදී රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) හදිසි කමිටුව නිවේදනය කර ඇත්තේ නව වෛරසය සම්බන්ධයෙන් 'ගෝලීය හදිසි අවස්ථාවක්' ප්‍රකාශයට පත් නොකරන බවයි.