පුද්ගලයන් 43 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා ඉතාලියේදී කඩා වැටුණු ජෙනෝආ හි මොරන්ඩි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම වෙනුවෙන් වූ සැලැස්මක් ලබාදීමට හැකි බව එරට ප්රකට ගෘහනිර්මාණ ශිල්පියෙකු වූ රෙන්සෝ පියානෝ පවසයි.
මෙම අනතුර සිදුවූ නගරයේම වැසියෙකු වන පියානෝ මේ වනවිටත් කිලෝමීටර් 2ක් පමණ දිග නගරයේ ජල තීරය ඉදිකිරීමේ කටයුතු සඳහා සහභාගී වෙයි.
පළාත් ආණ්ඩුකාර ජියෝවානි ටොටී මීට ප්රතිචාර දක්වමින් පවසා සිටියේ පියානෝගේ සහාය බොහොම සතුටින් භාරගන්නා බවයි.
වසර 51ක් පැරණි මොරන්ඩි පාලමේ කොටසක් පසුගිය අගෝස්තු 14දා කඩා වැටුණු අතර, එම අවස්ථාවේදී ඒ පහළ වූ මෝටර් රථ සහ ගොඩනැගිලි කිහිපයක් ඊට යටවීමෙන් එහි සිටි පුද්ගලයන් ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබීය.
කිලෝමීටර් 1.2ක දුරකින් යුතු මෙම පාලමේ සමස්ත ශක්තිය සම්බන්ධයෙන් මුල සිටම අර්බුද පැවතී ඇති බැවින් මේ වෙනුවට නව පාලමක් ඉදිකිරීම වෙනුවෙන් ඉතාලි බලධාරීන් දැනටමත් අවධානය යොමුකර ඇති බව කියැවෙයි.