තුර්කියේ ඉස්තාම්බුල් නගරය වෙත පැමිණ ඇති දහස් ගණනක් වන සිරියානු සරණාගතයන්ට නගරයෙන් පිටවීමට අඟහරුවාදා දක්වා අවස්ථාව ලබාදී ඇති අතර, ඔවුන් නොගියොත් රටින් නෙරපීමක් සිදුවනු ඇත.
එරට බලධාරීන් පවසා සිටියේ ඉස්තාම්බුල් නුවර ලියාපදිංචි නොවූ සරණාගතයන්, ඔවුන් ලියාපදිංචිව සිටින නගර වෙත වහාම පිටත්ව යා යුතු බවයි.
කෙසේ වෙතත්, මෙම සිරියානු සරණාගතයන් පවසන්නේ ඔවුන්ව වෙනත් නගරවලට නොව, තවමත් සටන් සිදුවන සිරියාවේ ඉඩ්ලිබ් නගරය වෙත ගෙනයෑමට තුර්කිය කටයුතු කරන බවයි.
ඒ අනුව, ස්වෙච්ඡාවෙන් පිටව යන බවට වූ ලේඛනවලට බලහත්කාරයෙන් ඔවුන්ගෙන් අත්සන් ලබාගෙන ඇති අතර, එම ලියකියවිලි ඔවුන්ට කියවීමට හෝ තේරුම්ගැනීමට නොහැකි ලෙස ලබාදී ඇති බවද කියැවෙයි.
තුර්කියේ ඉස්තාම්බුල් නුවර මේ වනවිට මිලියන භාගයකට අධික සිරියානු සරණාගතයන් ලියාපදිංචිව සිටිති.