හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමෙරිකානු ඩ්‍රෝන යානයකට පහර දී බිම හෙළීමෙන් පසුව ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාරයක් සඳහා සූදානම් වූ ඇමෙරිකාව යළි සිය ස්ථාවරය ආපස්සට ගෙන තිබේ.
මීට පෙර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ මෙම යානය බිම හෙළීම කිසිවෙකු අතින් සිදු වූ අත්වැරදීමක් මත සිදුවූවක් විය හැකි බවය.
"සිතාමතා සිදු කළ දෙයක් බව විශ්වාස කිරීමට අපහසුයි" යනුවෙන් ඔහු පවසා තිබුණි. ඔහු එසේ කියා තිබුණත්, යානය බිම හෙළීමට එරෙහි ප්‍රතිචාර ලෙස ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී ඇත්තේද ට්‍රම්ප් විසිනි. පසුව ඔහු විසින්ම එම තීරණය ආපස්සට ගෙන තිබේ.
ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේ නම් යළිත් මැදපෙරදිග කලාපයේ දරුණු යුද උණුසුමක් ඇති වන බව නොරහසකි. මෙය වළක්වා ගැනීම ගැන බොහෝ විචාරකයෝ සැනසුම් සුසුම් හෙළමින් කතා කර තිබුණි.
මේ අතර, අදාළ ඩ්‍රෝන යානය සිය ගුවන් කලාපයට ඇතුළු වී ඇති බව ඉරානය පවසන අතර ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, මෙම උණුසුම සමග ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යෑමේ තත්ත්වයක් මෙන්ම, ගුවන්ගමන් සඳහා බාධා පැමිණවීමේ තත්ත්වයක්ද මතුව තිබේ.
මෑතකදී ඕමාන් ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ අතර, ඊට මසකට පමණ පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළ ආසන්නයේදී තවත් නෞකා 4ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල විය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ද ඉරානයට චෝදනා එල්ල කළ අතර ඉරානය එය ප්‍රතික්ෂේප කරන්නට විය.