ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ශීඝ්‍රයෙන් වැඩිවීම චීනය විසින් නිරීක්ෂණය කර ඇති බවත්, මෑතදී පැතිර යන රෝග පාලනය කිරීම සඳහා ඉන්දියාවට අවශ්‍ය සහාය හා උදව් ලබාදීමට කැමැත්තෙන් සිටින බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.
ඉන්දියාව බ්‍රහස්පතින්දා කොවිඩ්-19 වසංගතයේ දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නව දෛනික ආසාදිතයන් 314,835ක් වාර්තා කර ඇති අතර, එය ඕනෑම තැනක වාර්තා වූ ඉහළම අගයයි.
ඉන්දියාවේ දෙවැනි රැල්ල හමුවේ එරට සෞඛ්‍ය සේවාවලට මෙම තත්වයට සාර්ථකව මුහුණ දීමට ඇති හැකියාව පිළිබඳ නව බියක් ඇතිවී ඇති පරිසරයක මෙසේ චීනය සිය උපකාරය ලබාදීම සඳහා ඉදිරිපත්ව තිබේ.
විශේෂයෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් ජීවත් කරවීම සඳහා අවශ්‍ය වෛද්‍ය ඔක්සිජන් පැය කිහිපයකට පමණක් ඉතිරිව ඇති බව නවදිල්ලි අගනුවර ඇතුළු උතුරු හා බටහිර ඉන්දියාවේ රෝහල් විසින් ඉල්ලීම් කරන ලදී.
නවදිල්ලි රජයේ අන්තර්ජාල දත්ත ගබඩාවට අනුව රෝහල්වල හිස් ඇඳන් නොමැති තත්ත්වයක් උදාවී ඇති අතර, වෛද්‍යවරු රෝගීන්ට නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දී තිබේ.
බටහිර අහමදාබාද් හි වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය කිරිත් ගාද්වි රොයිටර් පුවත් සේවයට පැවසුවේ පවතින තත්ත්වය ඉතාම තීරණාත්මක බවය.
"කොවිඩ්-19 රෝහල්වල ඇඳන් ලබා ගැනීමට රෝගීන් මහත් පරිශ්‍රමයක් දරනවා. විශේෂයෙන් ඔක්සිජන්වල දැඩි හිඟයක් පවතිනවා." ගාද්වි පැවසීය.
එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග අංශයේ සහකාර මහාචාර්ය කෘතිකා කුප්පල්ලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම අර්බුදය සෞඛ්‍ය සේවා පද්ධතියේ බිඳවැටීමකට තුඩු දෙන බවයි.
කොවිඩ් -19 නැගීම මධ්‍යයේ හිඟය අඛණ්ඩව පවතින බැවින් කාර්මික අරමුණු සඳහා ඔක්සිජන් සැපයීම වහාම තහනම් කිරීමටද ඉන්දියාව කටයුතු කර තිබේ.