ඉන්දියාවේ ප්‍රති චන්ද්‍රිකා මිසයිල අත්හදා බැලීම අභ්‍යවකාශය තුළ අවුල් ජාලයක් ඇතිකළ හැකි බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් අනතුරු අඟවා තිබේ.
ඉන්දියාව විසින් පහළ කක්ෂයේ වූ සිය චන්ද්‍රිකාවක් ප්‍රති චන්ද්‍රිකා මිසයලයකින් පුපුරුවා හැරි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (27දා) ජාතිය අමතමින් සිදුකළ ප්‍රකාශයත් සමග ඇමෙරිකාව මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.
එමෙන්ම, තමන් පහළ කක්ෂයක ඇති චන්ද්‍රිකාවක් පුපුරුවා හැරීම නිසා එහිදී ඇති වූ සුන්බුන් අභ්‍යවකාශයට එක්වීමේ හැකියාවක් නොමැති බවද ඉන්දියාව කියා තිබුණි.
මෙම ප්‍රති චන්ද්‍රිකා මිසයිල අත්හදා බැලීමත් සමග එවැනි අභ්‍යවකාශ බලයක් සහිත ලොව සිව්වැනි රාජ්‍ය බවට ඉන්දියාව පත්වූ අතර, මීට පෙර ඇමෙරිකාවට, රුසියාවට සහ චීනයට මෙම බලය සතුවිය.
2007 වසරේදී මේ ආකාරයේම ප්‍රති චන්ද්‍රිකා මිසයිලයක් අත්හදා බලමින් චීනයද ලෝකයේ දෝෂදර්ශනයට ලක්විය.
"මගේ පණිවුඩය නම් අපි සැවොම අභ්‍යවකාශය ප්‍රයෝජනයට ගත යුතුයි. නමුත්, ඒක අවුල් ජාලයක් නොකළ යුතුයි. අභ්‍යවකාශය කියන්නෙ, අපිට ව්‍යාපාර මෙහෙයවිය හැකි ස්ථානයක්. ඒ වගේම, අභ්‍යවකාශය කියන්නෙ මිනිසුන්ට නිදහසේ හැසිරෙන්න තියෙන තැනක්." යනුවෙන් වැඩ බලන ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුණි.
මෙවැනි පිපිරීමකින් අභ්‍යවකාශයට එක්විය හැකි සුන්බුන් මිනිසුන් සහිත හෝ රහිත වෙනත් චන්ද්‍රිකාවල ගැටීමට හැකි බවත්, ඒවා අභ්‍යකාශයේ ඇති වෙනත් වස්තූන් සමග ගැටීමේ සම්භාවිතාවක් පවතින බවත් කියැවෙයි. නමුත්, පෘථිවියෙන් කිලෝමීටර් 300ක් තරම් පහළ අභ්‍යවකාශ කක්ෂයක පිහිටි චන්ද්‍රිකාවක් පුපුරුවා හැරීම තුළ එවැනි සුන්බුන් එක්වීමක් කිසිසේත්ම සිදු නොවන බවත්, ඒහි යම් සුන්බුන් කොටසක් පැවතුණහොත් ඒවා තව නොබෝ දිනකින් පෘථිවිය වෙත කඩා වැටෙනු ඇති බවත් ඉන්දියාව කියයි.