පාකිස්තානය විසින් වෙඩි තබා බිම හෙළන ලද ඉන්දීය ගුවන් හමුදා ප්‍රහාරක යානයේ නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්තානයට බලකර සිටියි.
ඉන්දීය ගුවන් යානා දෙකක් ප්‍රහරදී බිම හෙලූ බවත්, ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකු තම අත්අඩංගුවේ පසුවන බවත් මුලින් පාකිස්තානය සඳහන් කළේය.
කෙසේ වෙතත්, පසුව ඔවුන් පවසා සිටියේ අත්අඩංගුවේ පසුවන්නේ එක් ගුවන් නියමුවෙකු බවය. කෙසේ වෙතත්, මෙම නියමුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාව, රුධිරය වෑහෙන ඔහුගේ මුහුණේ ඇස් ආවරණය කර තිබූ ආකාරය දැක්වෙන වීඩියෝවක් පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණි.
තුවාල ලැබූ සොල්දාදුවෙකුට අමානුෂික ලෙස සලකන ආකාරය පාකිස්තානය ලොවට කියා පෑ බව කියමින් මෙම සිද්ධිය ඉන්දියාව තරයේ හෙළා දැක තිබුණි. මේ සමගම අදාළ වීඩියෝව ඉවත් කරගැනීමට පාකිස්තානය කටයුතු කළේය.
ඉන් අනතුරුව එම නියමුවා තේ කෝප්පයක් පානය කරමින්, මුහුණේ තුවාල කැළැල් නොමැතිව, පාකිස්තාන හමුදාව අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන නව වීඩියෝවක් මුදාහැර තිබුණි.
එහිදී, තමන් වින්ග් කමාන්ඩර් අභිනන්ධන් බව පවසා සිටි මෙම නියමුවා, තමන් පැදවූ යානය හෝ එම මෙහෙයුම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
පාකිස්තානය කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය ජිහාඩ් ත්රස්තයන් විසින් ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීරයේදී ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් ඝාතනය කරමින් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය දෙරට අතර මෙවැනි උණුසුම් තත්ත්වයක් යළි ඇති කිරීමට හේතු විය.