ඉතාලියේ, ජෙනෝආ නගරයේ ගුවන් පාලමක් කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර, අනතුරින් දිවි ගලවා ගත්තවුන් සිටින්නේ දැයි සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
පොලීසිය පවසන්නේ තවත් පුද්ගලයන් 15 දෙනෙකු දරුණු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම, සිද්ධියෙන් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන් බවද මේ වනවිට පොලීසිය තහවුරු කරගෙන තිබේ.
මුදාගැනීමේ කණ්ඩායම් පවසා ඇත්තේ කොන්ක්‍රීට් තට්ටු යටින් මිනිසුන්ගේ කෑ ගැසීම් ඇසෙන බැවින් බලාපොරොත්තු අත්හැරිය නොහැකි බවයි.
ඉතාලි ගිනි නිවන හමුදාවේ භටයන් 300ක් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොමුකර ඇති අතර, එමෙන්ම, පොලිස් සුනඛයන් සහ විශේෂ ආම්පන්න මෙම මෙහෙයුම සඳහා යොදාගෙන ඇති බවද කියැවෙයි.
ගිනි නිවන හමුදාවේ නිලධාරියෙකු පවසා සිටියේ ඔවුන් කිසිසේත්ම උත්සාහය අත්නොහරින බවයි. ඔවුන් අනතුර සිදුවූ ඊයේ දිනයේ සිට නොනවත්වා සිය මෙහෙයුම් අඛ්ණ්ඩව සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
මේ අතර, කඩා වැටුණු වර්ෂ 1960 ඉදිකරන ලද මෙම ගුවන් පාලමේ ඉතිරි කොටසත් කඩා වැටේ යැයි යන බියෙන් ඒ අවට සිටි පුද්ගලයන් සිය ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවද ඉතාලි පොලීසිය පවසයි.
දින කිහිපයක් පුරා මෙම ප්‍රදේශයට දැඩි වර්ෂාවක් සමග අයහපත් කාලගුණික තත්ත්වයක් පැවති බවත්, පාලම කඩා වැටෙන අවස්ථාවේ පවා එවැනි දැඩි වර්ෂාවක් පැවති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.