ඇෆ්ගනිස්ථානයේ ස්ථාන දෙකක මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ.
කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් පළාතේ ජනාධිපති අෂ්රෆ් ඝානි ඇමතීමට නියමිතව තිබූ මැතිවරණ රැලියකට මුලින්ම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වූ අතර, ඉන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මධ්‍යම කාබුල් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල තවත් පිපිරීමකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම ප්‍රහාර ද්විත්වයෙහිම වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබේ. ඔවුන් එක්සත් ජනපදය සමග සාම සාකච්ඡාවකටද සහභාගී වන අතරතුර මෙම පහරදීම් සිදුකිරීම මේ වනවිට මතභේදයට තුඩුදී තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මස මුලදී තලේබාන් සංවිධානය සමඟ කළ සාකච්ඡා මේ වනවිට මියගොස් ඇති බව පවසා සිටියේද මේ තත්ත්වය හමුවේය.
තලේබාන් සංවිධානය ඇෆ්ගන් රජය සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කරන අතර සැප්තැම්බර් 28 වැනි දින රටේ ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට ඔවුන් ප්‍රතිඥා දී තිබේ.