ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇතිව තිබෙන වාර්තාගත ලැව්ගිනි ප්‍රමාණය නිවා දැමීම සඳහා වහාම හමුදාව යෙදවීමට බ්‍රසීල ජනපති තීරණය කර තිබේ.
ජනපති ජෙයර් බොල්සොනාරෝ විසින් මෙම පියවර ගෙන ඇත්තේ, යුරෝපා සංගමයට අයත් රටවල රාජ්‍ය නායකයන්ගෙන් ඔහුට එල්ල වූ දැඩි බලපෑම මත බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, ඇමසන් වනාන්තරය ආශ්රිත සියලු වනෝද්‍යාන, ගෝත්‍රික ජනතාව ජීවත්වන ප්‍රදේශ මෙන්ම, වනාන්තර මායිම් ප්‍රදේශ ආදී වශයෙන් සියලුම ස්ථාන වෙත හමුදාව යොදා ගිනි නිවා දැමීමට ඔහු අණ කර තිබේ.
අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයා වනාන්තර හෙලි පෙහෙළි කිරීම සඳහා අවසර දෙමින්, මුණිවත රකින බවට එරට ජනතාවගෙන්ද මේ වනවිට දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
විශේෂයෙන්ම මෙම ගිනි නිවා දැමීමට බොල්සොනාරෝ යුහුසුළු නොවුණහොත්, යුරෝපය දකුණු ඇමෙරිකානු රාජ්‍යයන් සමග පවත්වන වෙළෙඳ ගනුදෙනුවලට තිත තබන බවට ප්‍රංශ ජනාධිපතිවරයා ඊයේ (23දා) අනතුරු ඇඟවීමක්ද කළේය.
ලෝකයේ පෙනහළු ලෙස හැඳින්වෙන ඇමසන් වනාන්තරය, ලෝකයේ ඔක්සිජන් නිෂ්පාදනයෙන් 20%ක් දරා සිටින පරිසර පද්ධතියකි.