කටුවක් නොමැති ඉපැරණි කැස්බෑ පොසිලයක් චීනයෙන් හමුවීමත් සමග අතීතයේ විසූ කැස්බෑවුන්ගේ පිටේ කටුවක් නොතිබූ බව පුරාවිද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.
මීට පෙරද වරින් වර ඉපැරණි කැස්බෑ පොසිල හමුවී තිබුණත්, මෙය එදාමෙදා තුර පුරාවිද්‍යාඥයන් වෙත හමුවූ අංගසම්පූර්ණ කැස්බෑ පොසිලිය බව පවසයි.
එහි කාල නිර්ණය කිරීමේදී එය අදින් වසර මිලියන 228කට පෙර ජීවත් වූ කැස්බෑවෙකුගේ පොසිලයක් බව විශ්වාස කෙරෙයි.
චීනයේ ගුයිසෝ පළාතෙන් සොයා ගැනුණු මෙම කැස්බෑ පොසිලිය සම්බන්ධයෙන් අදහස් දක්වන ස්කොට්ලන්ත ජාතික කෞතුකාගාරයේ ස්වභාවික විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය නිකොලස් ෆ්රේසර් පවසන්නේ එම පොලිසිය බැලූ බැල්මට කැස්බෑ පොසිලයක් බව විශ්වාස කළ හැකි බවයි. කෙසේ වෙතත්, කැස්බෑවෙකුගේ කටුවක උඩ සහ යට තිබිය යුතු කිසිදු අංගයක් හෝ ලක්ෂණයක් එහි දක්නට නොතිබූ බවද ඔහු කියයි. එනමුදු මෙම සත්ත්වයාගේ ශරීරයේ ඉදිරිපස සුවිශේෂී හොටක ලක්ෂණ දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.
විද්‍යාඥයන් විසින් මෙම සුවිශේෂී පොලිසයට අයත් උරගයා 'Eorhynchochelys sinensis' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇත. එහි තේරුම වන්නේ චීනයෙන් සොයාගැනුණු හොටක් සහිත කැස්බෑවා යන්නයි.
පුරාවිද්‍යාඥයන් ඇතුළු විශේෂඥයන් රැසකගේ සහභාගීත්වයෙන් අධ්‍යයනය කෙරුණු මෙම සොයා ගැනීම පිළිබඳ විස්තර 'ද නේචර්' සඟරාවේ පළ කර ඇත.