ලෙඩේ මොකක්දැයි ඇසූ විට කළකට ඉහත අප පැවසුවේ කුමන හේ එක රෝගයක් පිළිබඳවය. නමුත් මේවන විට රෝග කීපයක් පොදු නමක් භාවිතකොට හඳුන්වන්නට අප හුරුවෙමින් සිටිමු ඒ බෝනොවන රෝග වශයෙනි. සැබවින්ම රෝගයක් කී විට එය කිසියම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් ඇසුරුකොට ගෙන වැළදෙන්නක්ය යන මතයේ සිට අප ප්‍රවේශම් සහගත වුවත් එවන් හේතුවක් නොමැතිව වැළදෙන බවක් පෙන්වන බෝ නොවන රෝග අද වන විට බහුලවී බවතී. දියවැඩියාව ආඝාතය, හෘද රෝග, පිළිකා , අධි රුධිර පීඩනය අධි කොලෙස්ටරෝලතාව ස්වසන රෝග මේ වන විට බෝනොවන රෝග වී පවතී. සාමාන්‍යයෙන් සිදුවන මරණ අතරින් 70% ක් පමණ බෝ නොවන රෝග නිසා නමුත් තවමත් මේ රෝගවලට ගොදුරුවෙන ප්‍රමාණය සීමාකරගන්නට අපට නොහැකි වී ඇත්තේ ඇයි. ඔබ හොඳ නිවසක් තනාගැනීම ගැන කොතරම් උනන්දුද? අලුත්ම වාහනයක් තමන් සතුකරගැනීම ගැන කොතරම් උනන්දුද? නිරන්තරයෙන් මුදල් ගැවසෙන පසුම්බියක හිමිකරුවෙකුවීමට කෙතරම් උනන්දුද ? රසවත් කෑම බීම ඇඳුම් පැලඳුම් සැපසම්පත් උපයා ගන්නට දූ දරුවන් සමාජයේ ඉහළ තැන්වලට ඔසවා තබන්නට ඔබ ගන්නා උත්සහය අප ලඝු කොට තකන්නට උත්සහ දරනවා නොවේ. නමුත් ඔබ බෝ නොවන රෝගයකින් ඔත්පල නොවී ජීවිතයේ අවසානය දක්වා නීරෝගීමත් පුද්ගලයෙකු ලෙස ජීවත්වීමට කොතරම් උනන්දුවක් දරනවාද? අවාසනාවට මෙහි ඇත්තම කතාව වෙන්නේ මේවන විට ඔබ අනෙක් සියල්ල වෙනුවෙන් වෙහෙසුනාට නිරෝගීමත් ජීවිතය යන ධනය උපයාගන්නට උනන්දුවක් දක්වන්නේම නැති තරම් යන්නයි. අද අප සෞඛ්‍ය පිටුව තුළින් සාකච්ඡාවට බඳුන්කරන්නේ එයයි
අප ලෙඩරෝගවලින් පීඩාවට පත් වුණු යුගයක් එකල පැවති බව සැබෑවකි. නමුත් ඒ හැම පීඩාවක්ම අපට ඇතිවූයේ බෝ වෙන රෝග වලින්මය. වසූරිය, මැලේරියාව, පෝලියෝ, බරවා, නව ජන්ම පිටගැස්ම ආදී වසංගතවලින් තුරන් වූ රටක් ලෙස ශ්‍රී ලංකාව මේවන විට ලෝකයම පිළිගත් සහතිකයන් ලැබූ රටක් ලෙස පිළිගැනීමකට ලක්ව තිබේ. ලෝකයේ සාක්ෂරතාවය අතින් ඉහළම රටක් ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකාවට එසේ නම් බෝ නොවන රෝග වසංගතය පිටු දකින්නට නොහැකි ඇයි. ? සැබවින්ම මෙම කාරියේදී අප වඩාත් නොසැළකිලිමත්ව ඇත්තේ මොනවා ගැනද යන්න පළමුව විමසා සිටිමු.
බෝ නොවන රෝග සම්බන්ධයෙන් එකළ අප ඇසුවේ ඉතාම කලාතුරකිනි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ස්වසන රෝග, පිළිකා රෝග හෘදයාබාධ ආදිය නිසා එක් කෙනෙකු දෙන්නෙකු මිය ගියද එය ඉතාම කලාතුරකින් පාහේ වූ දෙයක් බැවින් ඒ ගැන දැනසිටි මිනිසුන්ද ඉතාම අල්පය. තුන්වේලම තම්බපු හාලේ හෝ රතු හාලේ බත් කුරක්කන් ආදී ධාන්‍ය එළවලු පලතුරුවලින් සප්පායම් වූ ඔවුන් ගැහැණු පිරිමි භේදයකින් තොරව කැත්තෙ උදැල්ලේ වැඩ වෙනුවෙන් මුලු දිවා කලම ගෙවු දැමු අතර කුඹුරේ හේනේ වැඩ කටයුතු අතර පැල්කව් කියමින් තරගයට තේරවිලි කවි කියමින් මානසික ආතතියකින් තොරව තම තමන්ගේ වැඩකටයුතුවල නියැලෙන්නට වූහ.
ගන්නා ආහාර ප්‍රමාණයටම ශක්තිය වැය කළ ඔවුන්ට සිරුරේ තැන්පත්වෙන්නට තරම් මේදයක් නැතිවූවා සේම ශරීරය වෙහෙසවන තරමටම සිරුරට හිතකර ආහාර මිස කෘතිම ආහාරවලින් එකතුවන ලුණු තෙල් සහ සීනිවල ගැටලුද නොවූයෙන් එකල බෝ නෙවෙන රෝගවලට එළිපත්ත පනින්නට ඉඩක් ඇතිවූයේද නැත. අපි අද දියුණු නාගරික සමාජවල ජීවත්වන්නන් බවට පත්ව ඇතැයි පැවසූවත් දියුණු අපි පැරැන්නන් ගත කළ නිරෝගී ජීවිත අහිමිකරගත් පිරිසක් බවට පත්ව සිටී . අප සොයා බැලිය යුත්තේත් අවබෝධකොට ගෙන පිටුදැකිය යුත්තේත් ජීවන රටාවේ විලාසිතාවක්බවට පත්ව ඇති ඒ කොටසයි.
ආහාර සහ පෝෂණය
මේ අප අවධානය දැක්විය යුතු වැදගත්ම කොටසයි. නිසි පෝෂණය යනු තෙල් සහ සීනි මේදය යන කොටස් නොවේ. මේවායින් සිරුරට ලැබෙන කැලරි අධික වුවහොත් පෝෂණය නොව ඔබ කැඳවා යන්නේ මේ කියන බෝනොවන රෝග පමණය. සීනි යනු ආහාරයට ගත් විට මේදය වශයෙන් ඔබේ සිරුරේ තැන්පත්වන වසකාරකයක් යැයි කිවහොත් වරදක් නොවේ. සුදු පැහැ කරන ලද සීනි අප පිරිසුදු යැයි සිතුවත් එහිදී පැණි රසට අමතරව පිරිපහදුව සඳහා එක්කරන රසායනිකයන් ද අපේ සිරුරට අහිතකර විය හැකි බව අමතක නොකළ යුතුය. ඔබත්, &අපි දැන් වයස නිසා පරිස්සම්වෙන්න ඕන.පොඩි අයට නම් මේවා කෑවට ප්‍රශ්නයක් නැහැ* යැයි සිතන වැඩිහිටියෙක් නම් විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තිබේ.
ඒ දැන් බෝනොවෙන රෝගවලට උප්පැන්න සහතිකය වැදගත් නැති බවයි. දැන් දැන් පොඩ් දරුවන්ටත් දියවැඩියාව, පිළිකා, සහ ස්වසන ආබාධ, රුධිර නාලවල කොලෙස්ටරෝල බැඳීමට ඉඩ දීම නිසා නුදුරු ජීවිතයේදී ඇතිවිය හැකි ගැටලු ඉතාම සුලභය. එහෙයින් ප්‍රවේශම ආරම්භ කළ යුත්තේ දරුවා වැඩිහිටියෙකු වෙන තැන සිට නොව කුඩා කළ සිටමය. අශ්වයා ඉස්තාලය තුළ සිටියදී එය වසන්නට උනන්දු නොවී අශ්වයා පිටව ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැති බව ඔබ දනී. ආහාරයෙන් ප්රවේශම්වෙන්න යැයි අප ඔබට මතක් කරන්නේ පෝෂණය අමතක කරන්න යැයි පැවසීමෙන් නොවේ. අද ඔබේ ආහාර අතර අංක එක බවට ක්‍රමයෙන් පත්ව ඇති කෙටි ආහාර , ප්‍රයිඩ් රයිස් , කොත්තු , පරාටා ආදී ආහාර වලින් ඔබේ සිරුරට සමබල ආහාරවේලක සංඝටක එකතුවක් නොලැබෙන අතර පාන් පිටි, තෙල් සහ අධික ලුණු පමණක් එක්වෙයි. මේවා පෝෂණය වෙනුවට ඔබට ස්ථුල බව ,තරබාරුව මෙන්ම මේවන විට සෑම අයෙකුම බහුලව ගොදුරු වී ඇති ගැස්ට්‍රයිටිස්, අධික තෙල් භාවිතාව නිසා අක්මාව තුළ අධිකව තෙල් රැස්වීම ( ෆැටී ලිවර් ) දියවැඩියාව, අධිරුධිර පීඩනය ,අධි කොලෙස්ටරෝල සහ ආඝාතයට ගොදුරුවීමේ ඉඩකඩ ආදිය ඔබට ලඟාකරදෙයි. ඒ අනුව බලන කළ බෝනොවන රෝග ඔබ විසින්ම මුදල් දී ඇතිකරගන්නා රෝග බව ඔබට පැහැදිලි වනු ඇත. මේ ආහාරවල නිසි පෝෂණයක් ලැබිය හැකි පදමට එළවලු හෝ මස් මාලු හෝ වෙන අන් යමක් නැති අතර මේවා යාන්තමින් පෙන්වා අධික ලුණු සහ තෙල් පිටි යනාදිය ඔබේ කුසගින්න නිවනවා පමණක් නොවේදැයි මදක් සිතන්න. බඩගිනි නිවීම පමණක් මානව පෝෂණයට අයිති නැත. පෝෂණය යනු ඔබේ සිරුරේ ගෙවී යන කොටස් අලුත් වැයියාව සහ එදිනෙදා පරිවෘත්තීය ක්‍රියාකාරත්වයන් පවත්වා ගෙන යෑමට සිරුරට අවශ්‍ය කෙරෙනා ඉන්ධන ප්‍රමාණයයි. වාහනයක් වුවත් නිසි ඉන්ධන සපයා නොදුනහොත් ධාවනය කිරීමට නොහැකි බව ඔබ දනී. සිරුරටද මෙය පොදුය. එබැවින් හැමවිටම සමබල ආහාරවේලක් වෙත යොමුවෙන්න.
අනවශ්‍ය දෙයින් සිරුරට පීඩා නොදෙන්න
අප රටේ පුරුෂ පක්ෂයෙන් 40% ක් මත්වතුරට ඇබ්බැහිවූවන් වෙන අතර 10% ක් දුම්වැටියට ඇබ්බැහිවූවන්ය. මේ කියන භාවිතයන් දෙකම සිරුරට කිසිසේත්ම අදාල නොවන මෙන්ම තඹ සතයක තරම්වත් පෝෂණයක් නොවෙන මෝඩ භාවිතයන් දෙකක් පමණක් වන බව සිහිතබා ගන්න. පිළිකා රෝග දියවැඩියාව හෘදයාබාධ මෙන්ම සිරෝසීස් නැමති අක්මාව මුළුමණින්ම අහිමිකරන රෝගය මිලදී ගන්නට ඔබ අතේ ඇති මුදල් වැයකරන විට එවා නිසා රෝගීවන ඔබට ප්‍රතිකාර කරන්නට මුළුමහත් රටේම ජනතාවගේ මුදල් නිකරුනේ වැයවන බව සිතන්න. එය රටක් ලෙස අප ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්නට අපි අපිම වල කපා ගැනීමක් බව ඔබට වැටහෙනවා. ඇත. මන්ද මේ සියල්ලන්ම විදෙස් රටවලින් මෙරට පතුරවා පවත්වාගෙන යන ව්‍යාපාර වන බැවිණි.
අනෙක් කාරණය නම් ශාරීරික ව්‍යායාම ආදියයි. මේ වන විට කාර්යබහුලය යන ලේබලය අලවාගෙන පිරිසක් ව්‍යායාමයෙන් තොරව ජීවත්වෙන අතර ඒ නිසාම ස්ථුලතාව ආදී ගැටලුවලට මුහුණ දෙයි. තරබාරුව, පිළිකා රෝගවලට තුඩුදෙන එක් සාධකයක්වන අතර දියවැඩියාව හෘදයාබාධ අධිරුධිර පීඩනය කෙරෙහිද සෘජුවම බලපානු ලබයි. දැන් දැන් ව්‍යායාම සඳහා සකසා ඇති මංතීරුවල ඇවිදින පුද්ගලයින් සුලබ දසුනක් නමුත් වාහනයක නැගී මංතිරුව අසලින් බැස ඇවිද අවසන් වූ වහාම පැණි බීම බෝතලයකින් පවස නිවාගෙන ප්රයිඩි රයිස්, බර්ගර්බන් හෝ කොත්තු රොටියකින් සප්පායම් වි වාහනයේ නැගී නිවසට පැමිණීම ව්‍යායාමය ලෙස නොසැලකිය යුතුය. ඔබේ සිරුරට අධික සීනි ප්‍රමාණයක් එකතුකරන පැණි බීම රසයක් නොව වසක් පමණ බව අමතක නොකරන්න. ව්‍යායාම යනු හුදු තෙහෙට්ටුවක් කැඳවා ගැනිමක් නොව සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේද දියකර හරින සිරුරේ නිසි ක්‍රියාකාරිත්වය ඇතිකරන නිරෝගී සිරුරක් ඇතිකරගන්නට කැමති කවුරුත් අනුගමනය කළ යුතු වියදම් රහිත ක්රමයකි.
මේ ආකාරයෙන් ඔබට ඔබේ ආහාර, අනවශ්‍ය මත් භාවිතයන්ගෙන් තොරවීම, නිසි ව්‍යායාමයක නිරතවීම, මානසික ආතතියෙන් තොරවීම ඔබේ දියුණුවට මග සලසන ක්‍රියාවක් බැවින් ඔබේ සියලු හීන ඒ හරහා ඉටුකරගන්නට හැකියාව උදාකරදෙනු ඇත. ඔබේ හීන යථාර්ථයක් බවට පත්කරගන්නට නම් පළමුව ඔබේ ජීවන රටාවේ හුරු පුරුදු මෙන්ම ආකල්පමය වෙනස්කම් වලට හදවතට ඉඩ දෙන්න . නිරෝගි කම උතුම්ම ධනයයි. ඒ තුළ ඔබට අනෙකුත් ධනයන් උපයාගත හැකි අතර බෝ නොවන රෝග පාලනයට සහය දී රටටද යම් සේවයක් සැලසිය හැකිය. මන්ද රෝගී වීමෙන් බෙහෙත්වලට ඔබ වැයකරන මුදල අපේ රටේ මුලු ජාතික ආදායමෙන් සැළකිය යුතු ප්‍රමාණයක් පිටරටවලට යැවෙන ක්‍රමයක් වන බැවින් බෙහෙත් මිලදී ගැනීම සීමාවීම යනු රටේ මුදල් රට තුළම ඉතිරිවීමක් වන බැවිණි. අදම මතින් තොරවී නිසි ආහාර තෝරාගනිමින් නිසි අයුරින් ක්‍රියාශීලී වී උතුම්ම ධනය උපයාගන්න. ඊට ඔබ තවම පමා නැත.
සටහන නාලිකා රාජපක්ෂ