ඇතැම් අවස්ථාවල පුද්ගලයෙකු රෝගී වූ විට එයින් සුවපත්වීමට වෙනදාට වඩා වැඩි පෝෂණයක් රෝගියාට ලබාදෙන බව ඔබ හොඳින් දන්නා කරුණක්. නමුත් දියවැඩියා රෝගියාගේ ආහාර හැමවිටම ප්‍රමාණවලින් පවා අඩුකිරීමක් දකින්නට ලැබෙනවා. දියවැඩියා රෝගියාට පෝෂණය අවශ්‍ය නැද්ද ඔබට මෙසේ සිතෙනවා නම් එය පුදුමයක් නෙවෙයි. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයට ගොදුරු වූ අයෙකුට නිරෝගී අයෙකුට මෙන් ඕනෑම ආහාරයක් අවශ්‍ය තරම් ප්‍රමාණයට ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ. දියවැඩියා රෝගියාට ආහාර පාලනය කරන්න උපදෙස් ලැබෙන නිසාත් සමහර ආහාර තහනම් කෙරෙන නිසාත් තමන්ම නිසි පෝෂණයක් නොලැබීම හේතුවෙන් වයසට වඩා තමන් දුර්වල අයෙකු බවට පත්වේ යැයි දියවැඩියා රෝගීන් තුළ චකිතයක් මතුවෙන්නටත් පුලුවන් අද අපි සෞඛ්‍ය පිටුව තුළින් අවධානය යොමු කරන්නේ මේ කාරණය ගැනයි.
යවැඩියා රෝගය අද විශේෂයෙන් කතාබහක් කරන්නට තරම් අවශ්‍යතාවයක් මතුවෙන රෝග තත්ත්වයක් වන්නේ මේ වන විට දියවැඩියාව අපේ ජන සමාජයේ වයස් භේදයක් නොමැතිව සුලබව වැලඳෙන්නට පටන් ගෙන ඇති බැවිණි. දියවැඩියාව හෘද රෝග සඳහාද, ආඝාතය සඳහා ද, නෑ කමක් දක්වන බැවින් දියවැඩියාව ඇතැයි හඳුනාගතහොත් එය වහා වහාම පාලනය සඳහා පියවර ගැනීම දියවැඩියා රෝගය නිසා විනාශයට යන ශරීරයේ අවයව තව දුරටත් හානිවීම වළක්වා ගැනීමට උපකාරයක් වෙනවා මෙන්ම අනෙකුත් බෝනොවන රෝගවලට ඇති අවධානමද වළක්වා ගැනීමට උපකාරයකි. දියවැඩියා රෝගය පාලනය කරනු විනා බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නිට්ටාවට සුව කල හැකි රෝගයක් යැයි නොසැලකෙන බැවින් අප වහාම රෝග පාලනය කෙරෙහි සිත් යොමනවා මෙන්ම රෝගයට අහිතකර ලෙස බලපෑ හැකි හේතූන් අවම කරගැනීමටද අවධානය යොමු කළ යුතුය.
දියවැඩියා රෝගය ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා රුධිරයේ සීනි පරීක්ෂාව ඉවහල් වන බව ඔබ මේවන විටත් හොඳින් දන්නා කරුණක්. දියවැඩියාව යනු රෝගයක් වුවත් එය ඔබට රෝගියෙකු ලෙස ජීවත්වන්නට සලසන්නේ යැයි ඔබ කනගාටු නොවිය යුත්තේ දියවැඩියාව පාලනය කරගතහොත් ඔබට තව දුරටත් නිරෝගී අයෙකු මෙන් ජීවත්වීමට ඉඩ සැලසෙන බැවිණි.
ඒ සඳහා අප විසින් කළ යුත්තේ කුමක්ද? අප මේ විමසන්නේ එම කාරණයයි.පළමුවෙන්ම කළ යුතු වනුයේ දියවැඩියා රෝගියාට තම රෝග තත්ත්වය පිළිබඳව විනිශ්චය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් නියම කරන ප්‍රතිකාර ක්‍රමවේදයන් නිවැරදිව අනුගමනය කිරීමයි. සාමාන්‍යයෙන් අපි එදිනෙදා ගන්නා ආහාර අපේ දෛණික අවශ්‍යතාවයන්ට ගැලපෙනවා සේම රුධිරයේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස ඉහළ නොයන හා ප්‍රමාණවලින් හා මිශ්‍රණවලින් ගැනීම ඉතාම වැදගත්.එය නිසි ඖෂධ භාවිතාව මෙන්ම වැදගත්. එමෙන්ම දෛණිකව ශරීරයේ ශක්තිය වැයවෙන ක්‍රියාකාරකම් වල යෙදීමත් වැදගත් . එයින් අදහස් කරන්නේ කුමන හෝ ගැලපෙන ව්‍යායාමයක යෙදිය යුතුම බවයි. එවිට ආහාර ව්‍යායාම හා ඖෂධ පමණක් මේ රෝගය පාලනය සඳහා ප්‍රමාණවත්ද? නැත ඔබ ඔබේ මානසික මට්ටමද මනා සෞඛ්‍යයක් තුළ පවත්වා ගැනීමද වැදගත් බව අමතක නොකළ යුතුයි.කෙසේ නමුත් දියවැඩියා රෝගී ඔබට එක්තරා ආකාරයක අභියෝගයකට මුහුණු දෙන්නට සිදුවෙනවා. ඒ රුධිරයේ සීනි මට්ටම නිරෝගී අයෙකුගේ ශරීරයේ පවතින සීනි මට්ටමට හෝ ඒ ආසන්නයට පවත්වා ගැනීම පිළිබඳවයි.
ඇත්තෙන්ම එහිදී සීනි මට්ටම පහළ යන්නටත් ඉහළ යන්නටත් නොදී පවත්වා ගැනීම වැදගත්. බොහෝ දෙනා උනන්දුවෙන්නේ සීනි මට්ටම පහත දමාගන්න වුණත් එය නියමිත මට්ටම ඉක්මවා පහත හෙළිය යුතු නොවන අතර එය ඇතැම් විටක කෝමා තත්ත්වයක් දක්වා ඔබව ගෙන යන්නට පුලුවන. ඒ නිසා නියමිත අගයෙන් පහළටවත් ඉහළටවත් සීනි මට්ටම යා නොදී පවත්වා ගන්නට ඔබට හැකි විය යුතුයි. දියවැඩියා රෝගයට ඔබත් ගොදුරුව ඇත්නම් අනිවාර්යෙන්ම දේහ බර පිළිබඳව නියත අගයක් අන්අය සේම පවත්වා ගන්නට ඔබට සිදුවේ. ඇතැමි විට මේ වන විටත් ඔබට දියවැඩියා රෝගයේ සංකූලතා සහ අතුරු රෝග මතුව ඇත්නම් ඒවා පාලනය වන පරිදි ආහාර සහ ජීවන රටා පවත්වා ගන්නටද අමතක නොකළ යුතුය. මේ සඳහා සැලසුම්ගත වීමේදී ඔබේ ජීවිතයේ රටාවේ යම් වෙනසක් විය යුතුයි. දිනෙන් දින වියපත්වන ජීවිතයට අනුව ආහාර රටාවේ යම් යම් වෙනස්කම් සිදුකළ යුතු යැයි අවශ්‍යතාවයක් පැන නගී. ඇතැම් අවස්ථාවල ආහාර පාලනය කර ඖෂධ හා නිසි ජීවන රටාවන් පවත්වා ගන්නා අයට වුවත් සීනි මට්ටම ඉහළ අගයන් ගන්නට පුළුවනි. මේ නිසා ඔබ ආහාරය මතම එම වරද පටවන්නට උත්සහ ගන්නට පෙර මේ ගැන සිතන්න. ඔබ ගන්නා ආහාරය නියමිත ආහාර වුණත් වරකට ගන්නා ප්‍රමාණය කොපමණද? ආහාර ගන්නා වේලාවල් මොනවද? එහි මිශ්‍රණය කුමක්ද යන වග? එම කරුණු පැහැදිලිවම එයට බලපානවා. ඔබට දැනට ගන්නා ආහාරවලට අමතරව නිසි පෝෂණය වෙනුවෙන් ලබාගත හැකි එමෙන්ම රුධිරගත සීනි පාලනය කරන මෙන්න මේ ආහාරත් ඔබට යොදාගන්නට පුලුවන්. රතුහාල් , කුරක්කන්, ආටා උඳු වැනි පිටි වර්ග වලින් සැදූ ආහාර, මුං ඇට කවුපි, කඩල වැනි රනිල වර්ගයේ ඇට. නිවුඩ්ඩ තිබෙන හෝ නැති ලොකු ඇට සහිත තැම්බූ සහල් වර්ග වන කෝරා, මිල්ඡාට්, නාඩු වැනි සහල් වගේම දේශීය පාරම්පරික සහල් වර්ග වැනි සහල්වලින් පිසගත් බත් විශේෂයි.
එවිට අනෙක් සහල් කවදාවත් භාවිතයට නොගත යුතුද යන ගැටලුව ඔබට මතුවෙන්නට පුලුවන්. අප ඉහත කී ආහාර වර්ග යොදාගන්න යැයි ඔබට පැවසුවේ රුධිරයේ සීනි වැඩි වූ අවස්ථාවකයි. නමුත් රුධිරයේ සීනි පාලනය කරගත් පසු ඉඳහිට හෝ ගැනීමට හැකි තවත් ආහාර වර්ග තිබේ. සුදු කැකුළු, සුදු කැකුළු පිටි, සුදු තිරිඟු පිටි අර්ථාපල් , බතල, මඤ්ඤොක්කා, වැනි අල වර්ග කොස් දෙල් වැනි ආහාර ඒවායින් සමහරක්. නමුත් රුධිරයේ සීනි මට්ටම පාලනය නොවි පවතින අවස්ථාවක මෙවැනි ආහාර ගැනීම ඔබ ඔබටම කරගන්නා සතුරුකමක් වැනි දෙයක් වෙන්නට පුලුවන්. ඉඳිආප්ප ඕනෑ තරමක් සහ පරිප්පු හොඳි ස්වල්පයක් බොහෝ විට කෑමට ගැනීම වරදක් නැති බව ඔබට සිතෙන්නට පුළුවන්. ඇත්තෙන්ම එය පොඩ්ඩක්වත් සුදුසු නැති බව ඔබ දැන සිටිය යුතුයි. ඔබට දියවැඩියා රෝගය ඇත්නම් බත් පතේ ස්වල්ප බත් ප්‍රමාණයක් හා එයින් භාගයක් වන සේ එළවළු වෑංජන දියවැඩියා රෝගියාගේ ආහාරවේලක අන්තර්ගත විය යුතුයි. බත් කෝප්ප එකක් නම් එළවළුත් ඒ හා සමාන විය යුතුයි. කොහොම නමුත් අල වර්ග, පැසුණු කොස්, දෙල්, අළු කෙසෙල්, බටානා, වට්ටක්කා වැනි එළවළු අනෙක් එළවළු ආහාරයට ගන්නා ප්‍රමාණවලින් ගන්න දියවැඩියා රෝගියාට අවස්ථාවක් නැහැ. බෙරිවෙන්නට ඉදුණු පලතුරුත් සුදුසු නැහැ. පළතුරු ආහාරයට ගනිද්දිත් විශාල ප්‍රමාණවලින් නොගෙන පොඩි ප්‍රමාණවලින් ලබාගැනීම හොඳයි. ඇඹුල් කෙසෙල් ගෙඩියක්, ගස්ලබු තීරුවක් ඇපල් ගෙඩියකින් භාගයක් වැනි ප්‍රමාණ වරදක් නොවුණත් අධික ප්‍රමාණ නොගැලපෙන්න ඇති ඉඩ කඩ වගේම සැමවිටම පලතුරක් ආහාරයට ගනිද්දී ප්‍රධාන ආහාර වේලෙන් පසුව නොව අතර මැදි ආහාර වේලක් ලෙස ලබාගන්න. සමහරුන් එළවළු වර්ග හා පලතුරු ඕනෑ තරම් ආහාරයට ගන්නට හැකි බව සිතා සිටියත් එය නිරෝගී පුද්ගලයෙකුට වුවත් පමණ නොඉක්මවිය යුතු දෙයක්. ඕනෑම ආහාරයක් පමණ දැන ආහාරයට ගැනීම වැදගත්.
දියවැඩියා රෝගියෙකුගේ ආහාරවේල තුළ ෙපා්ෂණීය ආහාර අනිවාර්යය නමුත් පමණ නොයික්මවිය යුතුය. පළා වර්ගද ආහාරවේලට එක්වීම වැදගත්. සමහරුන් රුධිරයේ සීනි මට්ටම අඩුකරගන්නට ඉවහල්වේ යැයි සිතන සමහර ආහාර බෙහෙත් නිසි මාත්‍රාවෙන් ගන්නා අතරම, භාවිතයට යොදාගන්න අවස්ථා තියෙන්න පුළුවන්. තෙබු, කෝවක්කා, ඇඹරැල්ලා , කාබරංකා වැනි ආහාරවලින් දිනක් තුළදී කීපයක්ම ආහාරයට ගන්නා අතර නිසි මාත්‍රාවෙන් ඖෂධ ද ගැනීම නිසා ඇතැම්විට රුධිරයේ සීනි එක්වරම ඉතා විශාල ලෙස අඩුවුවහොත් ඇති විය හැකි ප්‍රතිඵලය ගැන සිතන්න. ක්ලාන්ත ගතියක් ඇතිකරමින් දියවැඩියා රෝගියාට රුධිරයේ සීනි අඩුවීම දැනෙන්නට පුළුවන. එවන් අවස්ථාවක පැණි රස යම් දෙයක් ආහාරයට ගන්නා ලෙස උපදෙස් ලැබෙන්නටද පුළුවන. දියවැඩියා රෝගියෙකු පැණි රස ආහාරයට එක්කර ගැනීම නොකළද හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කිසියම් පැණි රස ද්‍රව්‍යයක් නැති නම් සීනි ටිකක් ලඟ තබා ගැනීම වැදගත්ය. විශේෂයෙන්ම නිවසින් පිටව කාලය ගතකරන්නෙකු මේ පියවර අනුගමනය කිරීම වඩා වැදගත්වේ. මාලු වර්ග ආහාරයට එක්කර ගනිද්දී කුඩා මාලුන් වඩා ගුණදායක අතර තෙල් සහිත මස්වර්ග, අධික ලුණු ,තෙල් සීමා කිරීම ඉතාම වැදගත්. දියවැඩියා රෝගියා තම ආහාර වේල සම්බන්ධයෙන් පෝෂණ උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්. ආහාර සීමා කිරීම යනු පෝෂණය සීමා කිරීම නොවේ. ඒ නිසා දියවැඩියා තත්ත්වයකදී ඔබේ වෛද්‍යවරයා දෙන උපදෙස් නිවැරදිව පිළිපදින්න. මානසික ආතතිය රුධිරයේ සීනි මට්ටම ඉහළ දමන තත්ත්වයක් වන්නට ඉඩ නොදී සුදුසු විනෝදාංශයක් ඇසුරින් මානසික ලිහිල් බව පවත්වා ගන්න. සුදුසු ව්‍යායාම මොනවාද යන්න වෛද්‍යවරයා හා සාකච්ඡා කර ඔබේ ශාරීරික යෝග්‍යතාවය මත පහසුවෙන් ආරම්භ කළ හැකි ඒවා තෝරා ගන්න. නියමිත පරිදිම නියමිත ආකාරයටම ඖෂධ ලබාගන්න. ආහාර වේල් මග නොහරින්න.
අහාර ගත් විගස නින්දට නොවැටී කිසියම් වැඩක නියැලෙන්න. කෙසේ නමුත් ඔබ විසින් සම්පූර්ණයෙන්ම අත්හල යුතු වර්ග දෙකක් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමෙන් ඔබට අත්වෙන වාසි ඉතා බහුළයි. කිසිම පෝෂණ ඌණතාවයක් ඒවා නැවතීමෙන් ඇතිවෙන්නේ නැහැ. ඒ දුම්පානය සහ මත්වතුරයි. මේවා සම්පූර්ණයෙන්ම භාවිතයෙන් තොරවීම දියවැඩියා රෝගියෙකුට ඉතාම වාසිදායකයි. නිසි පරිදි රෝග පාලනය කෙරෙහි උනන්දුවක් ඔබ තුළ ඇත්නම් එය පහසු කටයුත්තක් වනු ඇති. ඔබේ දෙපා පිළිබඳ නිතර අවධානය දක්වන්න. තුවාල ඇතිවීමට ඇති ඉඩ කඩ අවම කරගන්න. දෙපා හොඳින් පිරිසුදු කර තෙත මාත්තු කර වියළිව තබාගන්න. පාවහන් පළඳින විට පාදයේ සම කැපී තුවාල ඇතිවන තරම් තදට නොපළඳින්න. පෝෂණය ගැන සැලකිලිමත් වෙනවා මෙන්ම ඔබ ඔබේ සිරුරේ තුවාල ඇතිවිය හැකි අවස්ථා මගහැරගන්න. දෙනෙත් අක්ෂි පරීක්ෂණයක් සඳහා යොමු කරවන්න.ඔබේ ආගම කුමක්වුවත් එහින් ඔබේ මානසික මට්ටම වඩා ලිහිල් කරගන්නට සහයක් ලද හැකිය . ඒ ගැනද අවධානය යොමුකරන්න. දියවැඩියා රෝගියා යනු අවලංගු කාසියක් නොවේ. ඔබේ ජීවිතය සම්බන්ධයෙන් බලපෑමක් එල්ලකිරීමට දියවැඩියා රෝගයට ඇති හැකියාව මෙල්ල කළ හැකි එකම මෙවලම ඔබේ සිත හා ජීවන රටාව බව අමතක කරන්නට එපා.
සටහන - නාලිකා රාජපක්ෂ