හිසකෙස් හැලී යාම වියපත්වූවන්ගේ ලක්ෂණයක් ලෙස අපි අතීතයේදී දැන හැඳින හිටියත් දැන් එය යොවුන් දරුවන්ගේත් සිදුවෙන බව දකින්නට පුළුවන්. එමෙන්ම තට්ටය පෑදුන පසු කිසිවක්ම කළ නොහැකි බව පවසා ඔබේ ගැටළුවට තවත් සංකීර්ණ මුහුණුවරක් සපයමින් ඔබේ ගැටලුව තම ආදායම් මාර්ගය කරගත් පිරිසක්ද අද බිහිවී තිබෙනවා. ඒ විවිධ තෙල් වර්ග ආහාර අතිරේක සහ විටමින් යැයි පවසමින් ඔබට වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් තොරව නියම කරන කැප්සියුල වර්ග ආදිය වෙළඳ පොළට එක් කරමින්. මේවායින් අපේක්ෂිත ප්‍රතිඵල වෙනුවට බොහෝ දෙනෙකුට තට්ට හිස සමග පරාජය වෙන්නට සිදුවීම කණගාටුවට කරුණක් බව අප දන්නවා. නමුත් නවීන වෛද්‍ය විද්‍යාවේ මෙයට පිළියම් තිබෙනවා. නමුත් නැත්තේ ඒ පිළිබඳ දැනුම සමාජ ගතවීමයි. හිසකෙස් හැලී යාමට හේතු සොයා එය වැළැක්වීමට ගන්නා පියවර රාශියක් නවීන වෛද්‍ය විද්‍යාව සතුවෙනවා මෙන්ම හැලී ගිය හිස කෙස් නැවත නොවැඩෙන්නේ නම්, සිරුරේ අනෙකුත් තැන්වල වැවෙන රෝම ආශ්රයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් හිසකෙස් බද්ධ කිරීම මෙන්ම කෘතිම හිසකෙස් බද්ධය දක්වා ප්‍රතිකාර දැන් සුලභයි. මේවා අධික වියදම් සහිත බව සමහරුන් සිතා සිටියත් එය එසේ නොවන අතර එසේ හිසකෙස් බද්ධය අවශ්‍යම ස්ථානවලට පමණක් එය හිසට යොදන්නේ නම් එවන් අධික වියදමක් ඇතිවන්නේ නැහැ. අද සෞඛ්‍ය පිටුව තුළින් කතාබහට ලක්වනුයේ එම කාරණයයි.
ඔබේ හිසේ පවතින හිසකෙස්වල ජීවන චක්‍රය ගැන ඔබ දන්නේ මොනවාද? ඔබේ හිසේ ඇතිවන හිසකෙස් වල ආයු කාලය වසර හයකි. එනම් වසර හයකින් පසු ඔබේ හිසේ තිබෙන කෙස්ගස වෙනුවට අලුත් කෙස් ගසක් බිහිවෙන අතර තිබූ හිසකෙස් ගස හැලී යයි. මේ නිසා හිස කෙස් ඔබේ ජීවිතයේ දිගු ජීවන චක්‍රයකට හිමිකම් කියන්නේ නැති බව ඔබට වැටහෙනවා ඇති අතරම වසර හයෙන් හයට ඒවා හැලී අලුතින් හටගන්නා බව දැන් ඔබ දනී. නමුත් මේ අලුතින් ඇතිවන හිසකෙසට ඒවා නිරෝගී ශක්තිමත් හිස කෙස් ලෙස හටගන්නට අවශ්‍ය කරන පෝෂණ පසුබිමද අනෙකුත් පාරිසරික හේතුද ශරීර තත්ත්වයද බලපාන බව මතක තබා ගන්න. දැන් අප හැලී යන හිසකෙස්. නියත වශයෙන්ම වැඩි පුර හිසකෙස් යෑමක්දැයි හඳුනාගන්නා ආකාරය පිළිබදව විමසමු. ඔබ හිස පීරන හැම වාරයකම පනාවේ හෝ හිස පීරීම සඳහා ඔබ යොදාගන්නා බ්‍රෂ් එකේ දැති වැහී යන ආකාරයට හිසකෙස් රැඳෙනවාද? නැතිනම් ඔබ නිදාගන්නා කොට්ටයේ හැම උදෑසනකම හැලී ගිය හිසකෙස් දහයක් පහලොවක් රැඳී තිබෙනවාද ? ඔබේ නාන කාමරයත් හිසකෙස් හැලී යන බව සොයාගන්නට ඔබට උපකාර කරන ස්ථානයක්. ඔබේ නානකාමරයේ ස්නානයෙන් පසුව විශාල වශයෙන් හැලී ගිය හිසකෙස් රොද දකින්නට ඇත්නම් ඔබට එම ඉඟිය ඒ සාමාන්‍ය ලෙස අක්‍රිය වී හැලී යන හිසකෙස් හැලී යාමක් නොවන බව තේරුම්ගන්න උපකාර වන එක් ක්‍රමයක්. උදාහරණයක් ලෙස ඔබ යමක් අලුතින් පැලකරන්නට උත්සහ කරන අවස්ථාවක් සිහිපත්කරන්න.
සාරවත් පස් සහ ආලෝකය ජලය උෂ්ණත්වය පරිසරය ආදී සියල්ල ඒ අලුත් ශාකය පැලවීමට අවශ්‍ය කරන පරිද්දෙන් සැකසීමට ඔබ වග බලාගන්නවා නොවේද? හිසකෙසටත් මේ පෝෂණය අවශ්‍ය වෙනවා.ක්ෂුද්‍ර පෝෂක නැතිනම් ඛනිජ ලවන මේ කාරියේදී වැදගත් මෙහෙයක් ඉටුකරන බව ඔබ දැනසිටිය යුතුම කාරණයක්. මේ නිසා ඔබ කිසියම් ආකාරයකින් ආහාර පාලනයක් කරන අයෙක් නම් අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක ( මිනරල්ස් ) ආහාරයෙන් එක්වන පරිදි ගැනීමට වග බලාගත යුතුයි. නැතිනම් පෝෂණය හිඟකම නිසා වියපත්වීම නිසා අක්‍රියවන හිසකෙස්වලට අමතරව පෝෂණය හිඟවීම නිසා අකාලයේ ඔබට අහිමිවෙන හිසකෙස් වලත් වැඩිවීමක් දකින්නට අත්විඳින්නට පුළුවන්. යම් ආකාරයකින් ඔබ නිසි පෝෂණය සහිත ආහාරවේලක් ලබා නොගන්නවා නම් ඒ සඳහා වෛද්‍ය නිර්දේශමත අතිරේක පෝෂණයක් ලබාගැනීමේ වරදක් නැහැ.බොහෝ විට ගර්භීණී අවදියේදී, කිරිදෙන අවදියේදී මෙන්ම ඇතැම් රෝග විශේෂයෙන් ඩෙංගු වැනි රෝග තත්ත්වයන් ඇතිවීමෙන් පසු කෙනෙකුගේ හිසකෙස් හැලී යෑම වැඩි බවක් පෙනෙන්නට මේ ක්ෂුද්‍ර පෝෂක ඌණතා එක එල්ලේම බලපානු ලබනවා. ක්ෂුද්‍ර පෝෂක කී විට එය ඉතා සුළු යන අදහස දෙනවා සේම මේවා අවශ්‍ය වෙන්නේ සුළු ප්‍රමාණයන්ගෙන් වුවත් ඒවා අත්‍යවශ්‍ය බව මතක තබා ගත යුතුයි. මානසික ආතතියත් ඔබේ හිසකෙස්වලට සතුරු තත්ත්වයක්. මේ නිසා ඔබ ආතතියට පත්වීම හැකි තාක් වළක්වා ගත යුතුබව මතක තබාගත යුතුමයි. බොහෝ දෙනෙක් හෙල්මට් පැලඳීම තම හිසකෙස් හැලී යාමට හේතුවක් සේ සලකනවා. නමුත් හිසකෙස් හැලී යන්නේ හෙල්මට් එකේ වරදින්ම නෙවෙයි ඔබ එය බාවිත කරන ආකාරයේ වරදින්. හැලීයාමට ප්‍රවණතාවයක් දක්වන හිසකෙස් ඔබ සතුව පවතී නම් හෙල්මට් එක හිසකෙස්වලට වෙනත් ආවරණයක් නොයොදා පැලදීමෙන් ඇදී ගැලවී යන්නට පුළුවන්. නමුත් ලේන්සුවක් හෝ හෙල්මටය තුළට යොදා එය පැලඳීමෙන් එසේ හිසකෙස් පැටලී ගැලවී යාම නවතා ගන්නට පුළුවන්. හිසකෙස් ගැලවී යාම ඇතිවන්නේ යම් රටාවකට අනුව බව ඔබ දැනටමත් දන්නවා ඇති පිරිමි අයෙකුගේ නම් නළල දෙපසින් හිසකෙස් හැලී යාම පළමුව ආරම්භ කර හිස පිටුපස හා පසුව සම්බන්ධ වීමෙන් අප බොහෝ විට දකින්නේ නළල ආශ්‍රිතව තට්ටය පවතින අයයි. නමුත් සමහරුන්ගේ හිස ඉදිරිපස හිසකෙස් පැවතියදී හිස පිටුපසින් තට්ටය පෑදීම ආරම්භවෙන අවස්ථාත් තිබෙනවා.කාන්තාවන්ගේ මේ තත්ත්වය ඇතිවෙන්නේ හිසේ ඉදිරිපස නාසයට කෙලින් හිසකෙස් බෙදී ඇති බෙදුම හරහා දෙපැත්තට හිසකෙස් හැලී, වැඩි ඉඩක් ඒ බෙදුම හරහා ඇතිවීමෙනුයි. ඇලොෆේසියා යන තත්ත්වය මෙන්ම හොර්මෝනවල ඇතිවන අසමතුළිතතා ඔබේ හිසකෙස්වලට හතුරු වී තට්ටය පාදන්නට උපකාර කරන බව ඔබට අවබෝධයක් තිබීම ඉතා වැදගත්.
හිසකෙස්ගසක් හැලී යාමට බලපානු ලබන්නේ හිසට සවිවී ඇති කේෂ මූලය බෙදීයාමකට ලක්වීමෙනුයි.මේ කේෂමූලය බෙදීයාම වැඩිවීම වැඩිපුර හිසකෙස් හැලීයාමට හේතුවක්. මෙය අවම කරන්න දැන් නවීන වෛද්‍ය විද්‍යාවේ අති සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. එමෙන්ම මේ වෛද්‍ය ප්‍රතිකාරවල අතුරු ආබාධ අවම වෙන්නට ඒවා නියම කරන වෛද්‍යවරුන්ගේ දැනුම අනිවාර්යෙන්ම බලපානවා. නමුත් හිතුමතයේ ඔබ ලබාගන්නා ඇතැම් විටමින් වර්ග ඔබට වෙනත් රෝග ඇතිකරවන්නට සමත් නිසා හැමවිටම ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පමණක් භාවිතකරන්න.
දැනටත් ඔබේ හිසකෙස් හැලීයන්නට පටන්ගෙන නම් පළමුව දැති මහත පනාවක් තෝරාගෙන හිසකෙස් මුළ එකතැන කීපවිටක් අතුල්ලමින් ( එනම් කැසීමක් සිදුකරන ආකාරයට අතුල්ලමින් ) හිසකෙස් මුල සම්භාහනය කරන්න. එයින් හිසකෙස් මුලට ඇති රුධිර සැපයුම ක්රමවත්වීම අැරඹෙන බැවින් කේෂමූලය බෙදීම තරමක් පමාවනු ඇත. එසේ හිසකෙස් ගැලවී යාමට තුඩුදෙන හේතු අවමකරන්නට හිස මුදුනට යොදන සාර්ථක ඖෂධ වෛද්‍ය විද්‍යාව සතුවේ. තෙල් ගැල්වීම සම්බන්ධයෙන් ඔබට පැවසිය හැක්කේ ඒ ඒ අවශ්‍යතාව සාර්ථකව ඉටු කරනු ඇති බවයි. එයද හිසට යෙදිය යුත්තේ ගලාගෙන යන ආකාරයෙන් හිසකෙස් තෙමෙන්නට නොවේ. ඇගිලි තුඩුවලින් හිසකෙස් මුල හොඳින් තැවරෙන සේ සහ හිසේ සම මත සුළු සම්භාහනයක් යෙදෙන ආකාරයටය. මේ තෙල් ගැල්වීමේ කාරිය ඔබටම කරගත හැකිය. කිසිවිටෙකත් හිසකෙස් අදිමින් හිසකෙස මුලට තද පීඩනයක් ඇතිකරන ආකාරයේ සම්භාහනයක යෙදෙන්නට උත්සහ නොකරන්නයි පවසන්නේ එසේ ඇදීමෙන් දුර්වල හිසකෙස් රොද වශයෙන් ගැලවී යාම නිසා හිසකෙස්වල ප්‍රමාණය සීග්‍රයෙන් පහළ බැස හිසකෙස් අතරින් ඔබේ හිසේ සම පැහැදිලිව පෙනෙන්නට පටන් ගැනීම ඇරෙඹෙන බැවිනි. එමෙන්ම තවත් කරුණක් තිබේ. හිස කෙස් තදින් පහළට ඇද පීරීම හිසකෙස් මුල ඇති ශක්තිමත් බවට යම් බලපෑමක් එල්ලකළ හැකි ක්‍රියාවක් සේම හිසකෙස් හැලීමටද කැඩීයාමටද තුඩු දෙන ක්‍රියාවකි. ඒ නිසා අනවශ්‍ය ලෙස හිසකෙසට පීඩනයක් එල්ලවන ආකාරයේ ක්‍රියාවන් නොකළ යුතු බව ඔබට වැටහෙනවා ඇත. දිනපතා ෂැම්පෝ යෙදීම කිසිවිටකත් හිසකෙස් සඳහා යෝජනා නොකරන අතර දින තුනකට වතාවක් පමණක් ෂැම්පෝ යෙදීම වරදක් නොවේ. හිස තදින් වියළී නොයන සහ සමේ තෙල් ගතිය අනවශ්‍ය ලෙස ඉවත්කරන මෙන්ම අධික රසායණිකයන් අඩංගු ෂැම්පූ වර්ග කිසිවිටකත් හිසකෙස්වලට හිතමිතුරු නොවේ.
දැන් අපි මෙහි අති නවීන තොරතුරු හෙලිකරන්නට යොමුවෙමු. හිසකෙස් බද්ධකිරීම ගැන කතාකරමු .හෙයා පොලිකල් සිරුරේ රෝම වැඩෙන වෙනත් ස්ථානයකින් ගෙන හිසකෙස් හැලී ගිය ස්ථානයේ රෝපණය කිරීම හිසකෙස් හැලීගිය නැවත වැඩීමක් දකින්නට නොලැබෙන අයට ඇති හොඳම පිළියමයි. මෙය සිහිනැති කිරීමකින් තොරව සේවාලාභියා සමග කතාකර කර වෛද්‍යවරයා විසින් සිදුකරනු ලබන ක්‍රියාවක් මිස ප්‍රධාන ගණයේ එනම් මේජර් ඔපරේෂන් එකක් නොවේ. දැනට අප රටේ මෙම ප්රතිකර්මය සිදුකරනු ලබන්නේ රෝහල් කීපයක පමණය. කෙනෙකුට දරාගත නොහැකි අන්දමේ අධික මිලක් නැත. හිස කෙස් හැලී ඇති ප්‍රදේශය සුළු නම් එනම් නළල දෙපස ආදී තැන්වල රෝපණය සඳහා රුපියල් පනස්දහසක පමණ දරිය හැකි අන්දමේ මිලක් වේ යැයි පැවසිය හැකිය. ඒවා වර්ග සෙන්ටිමීටරයක හිසකෙස් සීයත් එකසිය පණහත් අතර සාමාන්‍යයෙන් පවතින අතර බද්ධකරන හිසකෙස් සඳහා එම සිරුරේම සියයට හැටත් අසූවත් අතර හෙයාර් පොලිකල් ප්‍රමාණයක් එක්කර අවශ්‍ය පරිදි හිසකෙස් හොඳින් වර්ධනයවීමට සලස්වන අතර දිගින්දිගටම එම හිසකෙස් ශක්තිමත් ලෙස වැඩීමට ඖෂධ යොදනු ලැබෙයි. නමුත් සිරුරෙන් එසේ රෝම ලබාගත නොහැකි විට ඒ සඳහා බයෝ ෆයිබර් යොදාගන්නා අතර වසර පහක් මෙය පවත්වා ගත හැකිය. එයද ස්වභාවික හිසකෙස්වලින් වෙන් කළ නොහැකි ලෙස දිස්වීම විශේෂයකි.හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් යනු ඔබේ හිසකෙස් හැලීමට නවීන විද්‍යාව තුළින් බිහිවූ සාර්ථක පිළියමකි . අතුරු ආබාධ රහිත හෙයින් ඔබේ ගැටලුව දැන් විසඳාගැනීමට බැධාවක් නොවේ අද පාඨක ඔබට වෛද්‍යවරයාගෙන්ම මේ සම්බන්ධව තොරතුරු විමසීමේ අවස්ථාවද අප සලසා තිබේ. 0718127693 තුළින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා අමතා ඔබේ ගැටලුවට නොමිලයේ පිළිතුරු ලබාගත හැකිය.
සාකච්ඡා කළේ - නාලිකා රාජපක්ෂ