උපන් සැම කෙනෙක්ම මරණයට පත්වන බව අප සියලු දෙනාම පාහේ දන්නා කරුණකි. උපතේ සිට මරණය දක්වා කාලය ඇතුළත අප මුහුණ දෙන සෞඛමය ගැටලුද විවධාකාරය. මේ අතර සෑම වසරකදීම අලුතින් ප්‍රතිකාර පතා රෝහලට එන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව පන්දහසක් ඉක්මවන වන තරමට අපේ රටේ පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරුව සිටියි. බොහෝ විට මෙසේ නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුව සිටින්නේ පවුලේ ආර්ථිකය සරිකරන්නා විය හැකිය. එයින් එම පවුලේ දුවා දරුවන්ටද අති විශාල ආර්ථිකමය කඩා වැටීමකට මුහුණ දෙන්නට සිදුවන අතරම බද්ධ කිරීම සඳහා ගැලපෙන වකුගඩුවක් සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා රෝගියා සමහර විට අකාලයේ මරු වැළඳගන්නටද ඉඩ තිබේ. ඔබ කැමති නම් ඔබේ මරණයෙන් පසු මෙවන් පුද්ගලයෙකු සඳහා ඔබේ වකුගඩුව දන්දී ජීවිතයක් බේරාගැනීමට උපකාරී විය හැකිය. මරණයට පත්වීම ඔබ දන්නේ කෙසේද? හදවත නැවතුන පසු මරණයට පත්වෙන බව අප කවුරුත් අසා ඇති මරණයයි. නමුත් මොළය මිය යාමෙන් මරණයට පත් අයෙකු අවශ්‍ය නම් ස්වසන ආධාරක යන්ත්‍රයක සහය ඇතිව දින කීපයක් පෙණහලු හා හෘදය ක්‍රියාකාරීව තබමින් ප්‍රාණය රඳවා තැබිය හැකිය. නමුත් එය මළ මිනිසෙකුගේ හෘදය ක්‍රියාකාරීව තැබීමක් විනා නැවත සාමාන්‍ය ජීවිතයක් ලැබීමක් නොවේ. මෙවන් අයෙකුටද වකුගඩු රෝගියෙකු ජීවත් කරවීමේ මහඟු පුණ්‍යකර්මයට දායකවීමේ හැකියාව පවතී අද සෞඛ්‍ය පිටුව තුළින් අප කතාකරන්නට අදහස් කරන්නේ ඒ ගැනයි.
හදවත නැවතීම යනු මිය යාම යැයි අප සිතා සිටියද හදවතට නම් කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ආධාරයෙන් ස්පන්දනය ඇතිකොට ජීවිතය රඳවා ගන්නට යමක් කළ හැකිය. නමුත් මොළය මිය ගියහොත් එසේ කිසිදු යන්ත්‍රයක ආධාරයෙන් මොළයේ ක්‍රියාකාරිත්වය පණ ගැන්විය නොහැකිය. මොළය මිය යාම යනු ස්ථීරවම යමෙකු මියයාමයි. එසේ මොළය මියගොස් ඇති නමුත් එවන් අවස්ථාවක රෝගියා ප්‍රතිකාර ලබමින් සිටියේ දැඩි සත්කාර ඒකකයක නම් තව දුරටත් රෝගියා ස්වසන ආධාරක යන්ත්‍ර මගින් පෙණහලු හා හෘදයවස්තුව ක්‍රියාකාරී වීමට සැලැස්වීමෙන් හුස්ම ගන්නා අයෙකු බවට පත්කළ හැකි වෙතත් ඒ තැනැත්තා මරණයට පත් වී අවසාන බව අප දැන සිටිය යුතුය. මොළය මිය යන්නේ බොහෝ විට කිසියම් අනතුරක් හේතුවෙන් හිස බරපතල ලෙස තැලීමකට හෝ හානියකට මුහුණ දුන් අවස්ථාවකය. එහිදී ඇතිවෙන ඉදිමීම වැනි හේතු වෙනස් කරන්නට ඇති අපහසුව නිසා එවන් තැනැත්තෙකු දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදී වුවත් ජීවිතක්ෂයට පත් වූ බව තීරණය කළ හැකිය. එවිට ඔබට කෝමා යන තත්ත්වයෙන් සිහි සුන්වූවෙකු හා මොළය මිය යාමෙන් වූ තත්ත්වයන් දෙක පැටලීමට ඉඩ ඇත. කෝමා යනු මොළයේ මස්තිෂ්කය යන කොටසේ ඇතිවන තත්ත්වයකි. මෙය පසු කාලීනව යම් ආකාරයකින් මොළයේ සෛල අලුත් වැඩියාවකට බඳුන් වුවහොත් යම් යම් ආබාධ සහිතව හෝ ජීවිතය බේරීමට ඉඩ ඇති තත්ත්වයක් විය හැකිය.
නමුත් මොළ දණ්ඩ යන කොටසේ ඇතිවන සෛල මිය යාම යමෙකුගේ ස්ථීර මරණයට හේතුවකි. එය කිසිම ආකාරයකින් නැවත රෝගියා සිහිගැන්වීමට හැකි තත්ත්වයක් නොවේ. එහි නියම අදහස රෝගියා ස්ථීර වශයෙන්ම මියගොස් ඇති බවයි. නමුත් මොළය මිය ගියද එම අවස්ථාවේ රෝගියා ස්වසන ආධාරකවල සහය ලබමින් සිටින්නේ නම් පෙණහලු ක්‍රියාත්මක වෙමින් හෘදය ස්පන්දනය වෙන තත්ත්වයක පසු විය හැකි වුවද එය රෝගියා ජීවත්ව සිටින බවට සහතිකයක් නොවේ. ස්වසන ආධාරක ඉවත් කළ වහාම හෘදය ස්පන්දනයද නවතින බැවින් එතැන් සිට රෝගියාගේ ඥාතීන් උත්සහ දරනුයේ තම ඥාතියාගේ මළ සිරුර අවසන් කටයුතු සඳහා යොමු කිරීමටයි. නමුත් මෙවන් තත්ත්වයකට පත් වූ තම ඥාතියාට කළ හැකි උසස්ම පින්කම ලෙස භාරකරුවන් කැමති නම් ජීව පටක සහ වකුගඩු ,ඇස් යනාදිය දන් දීමට හැකියාවක් පවතින අතර එය බද්ධ කළ හැකි වකුගඩුවක් සොයාගත නොහැකිව මිය යන නිදන්ගත වකුගඩු රෝගියෙකු ජීවත්කරවන්නට යොදාගත හැකිය. එසේ ජීවිතයක් බේරාගැනීමට හැකියාව ලබාදීම මිය ගිය පුද්ගලයාගේ ඥාතීන්ටද පසු කළෙක අස්වැසිල්ලක් ව දැනෙනු ඇත. නමුත් මොළය මිය යාම හා හදවත මිය යාම යන දෙක අතර වෙනස හඳුනාගැනීමට නොහැකි කම නිසා මොළය මිය ගිය බව දන්වා ඇති විටත් තව දුරටත් ඔවුන් ජීවත්වන්නට ඉඩ ඇතැයි සිතන අය බොහෝය. සෑම වසරකම මෙසේ මොළය මිය යාම නිසා සිදුවෙන මරණ සංඛ්‍යාව හත්සිය පණහත් දහසත් අතර පවතී යැයි දැනට පවතින දත්තයන් අනුව සනාථ වෙන්නකි. මේ ගණන හත්සිය පණහ සේ සලකා කතාකළහොත් අපට වසරකට බද්ධ කළ හැකි නිරෝගී සහ සුදුසු තත්ත්වයේ පවතින වකුගඩු හත්සිය පණහක් නිසි දැනුම්වත්බවක් නොමැතිවීමේ හේතුවෙන් අහිමි වී යයි.
කිසියම් හදිසි අනතුරු තත්ත්වයකට පත්වීම අනපේක්ෂිත සිදුවීමකි. එහිදී අප සැමදෙනාම පාහේ බලාපොරොත්තු වෙන්නේ අදාල රෝගියාගේ ජීවිතය බේරීම ගැනයි. නමුත් සමහර අනතුරට පත් රෝගීන් ජීවත්කිරීමට නොහැකි තත්ත්වයෙන් රෝහල් ගත කෙරෙන අවස්ථාවල් බොහෝ බැවින් එවන් අවස්ථාවල අකමැත්තෙන් වුවත් සිදුවෙන දෙය යථාර්ථවාදීව පිළිගන්නට රෝගියාගේ ඥතීන් දැනුම්වත් වී සිටීම වැදගත්ය. මොළය මිය ගිය රෝගියා කිසියම් හාස්කමකින් වුවත් නැවත ජීවිතය දෙසට යොමුවන්නේ නැත. මොළය මිය ගොස් ඇතැයි දන්වා සිටියදී හදවත තවමත් වැඩ කරන්නේ නම් රෝගියා ජීවත් වේ යැයි යන මායාව තුළ ගැලී සිටීමේ පදනමක් නැත. එසේ නම් මිය ගොස් සිටින තම රෝගියාගේ අවයව ඉවත් කර තවත් අයෙකුට බද්ධ කිරීම සඳහා අවසර දීමෙන් ඔබටද මිය ගිය ඥාතියා වෙනුවෙන් ඇස්පනාපිට ප්‍රතිපල දෙන පුණ්‍යකර්මයකට දායකත්වය දැක්විය හැකිය. තම ඥාතියා මියගියත් ඔහුගේ හෝ ඇයගේ ජීව පටක දන්දීමෙන් ඇස් දන්දීමෙන් , වකුගඩු දන්දීමෙන් ඒවා නැවත ජීවත්වන බව දැනීම නිසාද ඔබට යම් අස්වැසිල්ලක් ඇතිවන්නට පුළුවන. එම අවයව දන්දීමෙන් දිවි ගලවාගත් පුද්ගලයා තව දුරටත් සමාජය වෙනුවෙන් තම දූ දරුවන් වෙනුවෙන් සිය දායකත්වය ලබාදීම පුණ්‍යකර්මයකි.
වකුගඩුවක් දන්දීම සඳහා අවස්ථාව පවතින්නේ මොළය මිය යාමෙන් මරණයට පත්වන්නන්ට පමණක් නොවේ. අද ජීවතුන් අතර සිටින ඔබට යම් දිනයක මරණයට පත් වූ පසු වකුගඩු දන්දෙන පොරොන්දුවකට බැඳීමේ හැකියාවද පවතී. ඔබ ඔබේ මරණින් මතු වකුගඩු දන්දීමට කැමැත්ත පළ කර සාමාජික කාර්ඩ් පතක් ලබාගනිමින් දායකත්වය දැක්වුවහොත් ඔබගේ වකුගඩු අසරණ රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර ඔවුන් එම රෝගී තත්ත්වයන්ගෙන් ගලවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත. මේ සඳහා පවතින ක්‍රමවේදයේ කුමන කොන්දේසි ඇතුළත්දැයි දැන් ඔබට යම් තරමක ගැටලුවක් මතුවෙනු ඇත. මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කරන විට ඔබගේ වයස අවුරුදු 21 ත් 65 ත් අතර විය යුතුය. එමෙන්ම කිසිදු වකුගඩු රෝගයකින් පෙළෙන්නෙකු නොවිය යුතුය. එච් අයි වී සහ හෙපටයිටිස් බී වැනි ආසාදන දැනට වැලඳී හෝ මින් පෙර වැලඳී නොතිබිය යුතුය.
එමෙන්ම මිය ගිය තැනැත්තාගේ සිරුර වකුගඩු ඉවත් කිරීමෙන් පසු ඉතා ඉක්මණින් ඥතීන් වෙත ලබාදීමට කටයුතු සලසනු ඇත. සිරුර නිසි ආකාරයෙන් මැහුම් දමා සකස් කරලන අතර එම වකුගඩු අවශ්‍ය රෝගියෙකුට හෝ දෙදෙනෙකුට හෝ බද්ධ කිරීමට පියවර ගනු ඇත. මිය ගිය තැනැත්තාගේ ළඟම ඥාතියෙකුගේ අනුදැනුමකින් තොරව සිරුරෙහි වෙනත් කොටස් කිසිවක් ඉවත් නොකරනු ඇත. මියගිය තැනැත්තාගේ අනන්‍යතාවය ආරක්ෂා කරනු ඇත. වකුගඩු ලද පුද්ගලයන් හට වුවද ඒවා කවරෙකුගෙන් ලැබුණේද යන්න අනාවරණය නොකරනු ඇත. එසේ සිදුකළ ප්රදානය කිසිදු නෛතික හෝ වෛද්‍ය නෛතික ක්‍රියාමාර්ගයකට බල නොපානු ඇත. මෙහි ආකෘති පත්‍රයට අත්සන් තැබිය යුත්තේ වයස අවුරුදු 18 ට වැඩි සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේය .ඉන් එක් අයෙකු සමීප ඥාතියෙකු වෙන්නේ නම් සුදුසුය. මේ පිළිබඳ සියලු විස්තර ඔබට වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධකිරීටම් ජාතික මධ්‍යස්ථානය අංක 349, ජයන්ත වීරසේකර මාවත කොළඹ 10 . යන ලිපිනයට පැමිණ හෝ 0112422335 , 01122422336 ,0112445067 යන දුකථන අංකවලට කතා කිරීමෙන් 0112422334 යන අංකයට ෆැක්ස් කිරීටමන් , මෙන්ම විද්‍යුත් තැපෑල [email protected] තුළින් සියලු විස්තර ලබාග. හැකිය. අප අනෙකා ගැන සිතන අනෙකාගේ දුකට පිහිටවන අභිමානවත් මිනිස්කම් සහිත රටක පුරවැසියන් වෙමු . ජීවත්වන්නට අපේ පිහිට යදින ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි දේ වෙනුවෙන් කැපවෙමු. මිය ගිය ඥාතියා නමින් කරන සියලු පින්කම් අතරට තවත් අයෙකු ජීවත් කිරීමට ශරීරාවයව දන් දුන් ගෞරවාන්විත පුද්ගලයෙකු සේ ඔබේ ඥාතියාගේ ඔබේ මතකය තව දුරටත් රඳවන්නට මිය ගිය පසු ඔබේ වකුගඩු දන්දෙන්නට කැමැත්ත පළකර මේ ජාතික වැඩසටහනට සහය දක්වන්නට පෙළ ගැසෙමු.
සටහන - නාලිකා රාජපක්ෂ