මේ නත්තල් සහ නව අවුරුදු සමයයි. දස අතින් උත්සව සිරිය ඉඟිකරන කාලසීමාවක් මෙන්ම පාසල් නිවාඩු කාලයද බැවින් බොහෝ විට ඔබ සාප්පු සවාරියේ යෙදෙන්නේ ඔබේ දූදරුවන් ද කැටිව විය හැකිය. සාප්පු සවාරියේ යෙදෙන්නන් අතර ඇතැම් බෝවන රෝගීන්ද ගැවසීමට ඉඩ ඇති බව ඔබට සිහිපත් නොවීමට ඉඩ ඇත. මන්ද ඔබ ඒ සම්බන්ධයෙන් යම් පරිස්සමක් විය යුතු බව සිතන්නේ ඔබ රෝගවලට ගොදුරුවූවාට පසුවය. ඇතැම් විට සෙනග වැඩි වීම සහ පාරේ වාහන තදබදය මගහැරගන්නට ඔබ ගෙදරින් පිටත්වන්නේ වඩාත් වේලාසණින් විය හැකි අතර උදෑසන ආහාරවේලද ඔබේ බෙහෙත් වේලද මේ අවස්ථාවේ මග හැරී යා හැකිය. නමුත් ඔබේ දූ දරුවන් එවන් ජනාකීර්ණ පරිසරයක් තුළ විවිධ රෝගවලට ගොදුරුවීමේ අවධානමක් පවතින බව ඔබ මොහොතකටවත් සිතුවාද? අද සෞඛ්‍ය පිටුව තුළින් අප සාකච්චාවට බඳුන් කරනුයේ එම කාරණයයි.
උත්සව සමයේ ආකර්ශණීය වෙළඳ දැන්වීම් මෙන්ම අතමිට,ට පැමිණෙන ප්‍රසාද දීමනා හේතුවෙන් පවුලේ උදවියත් සමග සාප්පු සවාරියේ යෑම ඔබට මහත් සතුට දනවන කාරණයක් විය හැකිය. මේ ගමන් බිමන් වලදී ඔබට ඔබව මගහැරී යන බව පැවසුවහොත් එය ඔබට තරමක මවිතය දනවන කරුණක් වන බවට සැකයක් නොවේ. වැඩිහිටියෙකු වූ ඔබට ,ඔබව මේ සාප්පු සවාරිතුළ මගහැරී යන්නේ කෙසේද? ඔබ කිසියම් බෝනොවන රෝගයක් සඳහා ප්‍රතිකාර පතන්නේද ? අධි රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල ආදී තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්නේ නම් ,ඔබේ ඖෂධ පෙති ලබාගත යුතු නිසි ක්‍රමවේදයක් පවතී. නමුත් ඔබ නිවසින් පිටත මෙවන් සාප්පු සවාරියක් යන විටක ආහර වේලට පළමු හෝ ආහාර වේලෙන් පසු ආදී වශයෙන් තීරණය වූ බෙහෙත් වේල තබා ඔබේ ආහර වේල ගැනවත් එතරම් අවධානයක් නොදක්වන්නට ඉඩ තිබේ.
මගින් මොනවා හරි කමු යනුවෙන් ගෙදර අයත් එක්ක ගිවිස ගන්නා ඔබ උදෑසන ආහාර වේල වෙනුවෙන් වෙනදා නිවසේ සකස් කරගන්නා ලුණු සීමා වූ මේදය සීමාවූ , පිටි සීමා වූ ආහාර වශයෙන් සකසා ගන්නා සෞඛ්‍යමත් ආහාරවේලට පරිභාහිරව හෝටල්වල තිබෙන කට්ලට්, රෝල්ස් ආදී මේදය අධික කෙටි කෑම උදෑසන ආහාරවේල වෙනුවෙන් යොදාගන්නා අතර ඔබේ ආහාරවේලට පෙර හෝ පසුව ගත යුතු බෙහෙත් වේලද මගහැර ගනියි. ආහාර නිසා අපට ඇතිවන රෝග බෙහොමයක්ම තිබෙන අතර සමහර ඒවා බෝවනුයේ ජලය හරහාය .ටයිපොයිඩ් ආදී තත්ත්වයන් උදාහරණ ලෙස ගත හැකිය.මෙවන් උත්සව සම වල අධික ජනකායක් ගැවසෙන බැවින් මෙවැනි ආහාර කල් ඇතිව සකස් කෙරෙන අතර නිසි පරිදි ආරක්ෂිත ලෙස සකස් නොකිරීමත් එම භාජන නිසි පිරිසුදු තත්ත්වයේ නොපැවතී සිටියදී සකස් කිරීම ආදී කාරණාවල ප්‍රතිඵලයක් ලෙස එම ආහාර බැක්ටීරියා ආශ්රිත තත්ත්වයන් මත දූෂණය වී පැවතිය හැකිය. එසේ නිසි ආරක්ෂිත වාතාවරණයක නොපවතින ආහාර අනුභවය නිසා ඔබ රෝගී වන්නට ඇති ඉඩ කඩ ඉතා බහුලය එමෙන්ම ඔබ මේ ගමන්වලට ඔබේ හය හතර නොදන්නා කුඩා දරුවාද එක්කරගන්නේ දරුවා තබා යන්නට කෙනෙකු නොමැතිවීම නිසා හෝ දරුවා ඔබත් සමග යන්නට පොරබදන නිසා විය හැකිය.
එසේ කැඳවාගෙන එන දරුවාටද එවන් කෑම ලබාදීම නිසා නිරෝගීව ගෙදරින් කැඳවාගෙන ආ දරුවා ඔබ මුදල් දී රෝගියෙකු බවට පත්කරගෙන නැවත නිවසට ගෙන එන අතර උත්සව සමයේ ඔබට ඒ රෝගවලින් පීඩා විඳින දරුවා රෝහල් හෝ වෛද්‍යවරුන් වෙත ගෙන යමින් කාලය හා මුදල් නාස්ති කරගන්නට සිදුවනු ඇත. මේ හැරෙන්නට හඳුනානොගත් ක්ෂය රෝගීන් බහුතරයක් සාමාන්‍ය ජනතාව අතර නාගරික පරිසරය තුළදී ගැවසිය හැකිය. ඔවුන් කහින කිවිසන සහ සිනහසෙන විට පරිසරයට නිකුත්කරන විෂ බීජ , බැක්ටීරියාවන් , වෛරස් මේ සියල්ල ඔබේ නොදරුවාටද ඔබටද ශරීරගත වෙන්නට ඇති ඉඩ කඩ බොහෝය. නමුත් මේවා අද ඇතුළු වී හෙට රෝග ලක්ෂණ නොපෙන්වයි. ඒ ඒ තත්ත්වයන්ට බලපාන බීජෞෂණ සමය අවසානයේ ඔබ ඒ ඒ රෝගවල ආසාදිතයෙකු බවට පත්වෙයි. නමුත් ඒ රෝග බීජවලට ඔබ නිරාවරණය වූයේ සාප්පු සවාරිය සඳහා ඔබ සෙනග අතර ගැවසුන දිනයේදී බව ඔබ නොදැන සිටින්නට ඉඩ ඇත. ස්වසන ආබාධ බොහෝමයක් බෝ වනුයේ ආශ්වාස වාතය හරහාය. ඔබ අසල සිටින්නේ ක්ෂය රෝගියෙකුද ඉන්ෆ්ලුවෙන්සා රෝගියෙක්ද යන්න දැනගැනීමට මගක් ඔබට නොවේ. මේ එළැඹ ඇත්තේ ශිත සෘතුව නිසා එහි පවතින පරිසර සාධක අනුව ස්වසන රෝගීන්ට ඇතිවන රෝග ලක්ෂණ සහ ඇදුම වැනි ස්වසනාබාධ ඇතිවීම වැඩි බවක් දැකිය හැකිය. දූවිලි වැනි දෑ ඇතැම් සේල් පොළවල්වල සිට ඔබේ නහයට ඇතුළු වන්නට ඉඩ ඇති බව මොහොතක් සිතුවාද ? ඇතැම් සේල් පොළවල් වල තොග පිටින් ඇදුම් වර්ග එක ගොඩේ දමා ඔබට තොරාගන්නට සලස්වා ඇති විට ඒවා වල තැවරුණු සියුම් දූවිලි ආදිය ඇවිස්සී ඔබගේ ස්වසන වාතය සමග නාසය තුළට ඇතුළුව නාසය අවහිර වන පරිදි ස්වාස නාලය තුළ ඇතිවන ඉදිමීම් ඇතිවීය හැකිය.
නමුත් නිවසේ ඉතා පිරිසුදු පරිසරයක ගැවසෙන ඔබට, ස්වසන ආබාධ පිටුදකින්නට අවශ්‍ය කරන පරිසරය සකසා ගන්නා ඔබට, හදිසියේම රෝග තත්ත්වයන් උත්සන්නවීමට කුමන හේතුවක් බලපෑවේද යන්න වික්ෂිප්ත විය හැකිය. නමුත් ඔබේ විමසුමට අසු නොවූ තත්ත්වය ඔබ ගැවසුනු සේල් පොළ හරහා ඇතිවූවක් වන්නට ඉඩ තිබේ. අසාත්මිකතා ඇතිවීම ඔබ දන්නා හේතු මෙන්ම නොදන්නා හේතු නිසාද ඇතිවිය හැකිය . ඇතැම් රසකාරක මෙන්ම වර්ණකාරකද ඔබේ අසාත්මිකතා ඇතිකරන්නට සමත්විය හැකිය. සමහර සකස් කරන ලද බීම වර්ග වෙනුවෙන් යොදනා වර්ණකාරක සහ රසකාරක වල අඩංගු ද්‍රව්‍යයන් ඇතමුන්ට අසාත්මික විය හැකිය. එවිට සිදුවන්නේ සමේ කිසියම් ආකාරයක කරප්පන් මතුවීම , කැසීම රතුවීම වමනය ඇතිවීම හිසරදය ඇතිවීම වැනි ලක්ෂණයක් වියහැකිය. ඒවා අනෙක් අයට එසේ නොවී ඔබට පමණක් එසේ වූයේ ඇයි දැන් දැන් ඔබට පැණයක් මතුවිය හැකිය. අසාත්මිකතා යනු එවැන්නකි. කෙනෙකුට අසාත්මික වන දේ තවත් කෙනෙකුට එසේ නොවෙයි. නමුත් එය කලින් දැනගන්නටද මගක් නොවේ. ඇතැම් ස්වභාවික පළතුරු බීම ආදියටද පැහැය ඇතිකිරීමට, සුවඳ ඇතිකිරීමට මෙන්ම රසය වැඩි දියුණු කිරීමට මේවා යොදයි.
නමුත් පානය කරන්නට කළින් ඒවා යෙදූ බව දැනගන්නට ක්‍රමයක් නොවීම නිසා ඔබට ඇති එකම පිළියම නිවසින් ගෙන යන වතුර බෝතලය පමණක් පානය කිරීමයි. ඇතමුන් පැණි බීම නැතිනම් බෝතල් කළ බීම පානය කරන්නේ සාදන ලද බීම වර්ගවලට එක් කරන වතුර පිළිබඳ සැකය නිසාය. නමුත් එවැනි බීම බෝතලයක සැඟවී ඔබේ සිරුරට එක්වන අධික සීනි ප්‍රමාණය වඩා හානිදායක බලපෑමක් එල්ල කරයි. මෑත කාලයේ සීනි රහිත පානවර්ග ලෙස වෙළඳ පොළට එක් වූ කෘතිම පාන වර්ගවල ඇස්පාටම් යන සංයෝගය අඩංගු වෙයි. එයින් සීනි නැතිව සීනි රසය මතුකරන නමුත් සීනි දැමූ පානවර්ගවලින් ඇතිවෙන හානියට වඩා වැඩි හානියක් ඇතිකරයි. මේ නිසා පානීය ජලය ඇරෙන්නට වෙනත් යමක් පානය ඔබේ සෞඛ්‍යට අහිතකරවෙන්නට ඉඩ තිබේ. පානීය ජල බෝතල් යොදාගත්තාට කමක් නැතිදැයි දැන් ඔබට සිතෙන්නට ඉඩ ඇත. සැබවින්ම කිව හැකි වනුයේ පිළිගත් ආකාරයේ නිෂ්පාදනයක් සහිතව එන ජල බෝතල් මිස ව්‍යාජ ලෙස පුරවා බෝතල් කළ පානීය ජලයද මේවන විට වෙළඳ පොළ තුළ සංසරණය වෙන බැවින් ඔබේ පානීය ජල බෝතලය රැඟෙන යෑම ඔබේ ආහාරයට කිසියම් දෙයක් සකස් කරගෙන රැඟෙන යෑම මේ උත්සව සමයේ පරණ ආහාර අළුත් ලෙස වෙළඳ පොළට පැමිණ ඔබේ පරිභෝජනයට එක්වීමෙන් ඇති විය හැකි ගැටළු අවම කරන පියවරක් බවයි.
ස්වසන ආබාධ වැනි තත්ත්වයන් විශේෂයෙන්ම ක්ෂය රෝග බීජ වඩාත් පවතින්නේ නාගරික සීමාවන් තුළ බැවින් ඔබේ දරුවාට සහ ඔබට මුව ආවරණයක් පැළඳ යා හැකි නම් එය වඩාත් සුදුසුය. කෙසේ නමුත් තනිව තමන්ගේ ප්‍රවේශම සලසා ගත නොහැකි, තමන්ගේ පාලනය ගැන වගවිය නොහැකි දරුවන් මේ ජනාකීර්ණ පරිසරය තුළට ගෙන ඒමෙන් වැළකීම වඩාත්ම සුදුසු ක්‍රමයයි. ඔවුන්ව වෙහෙසට පත්කර ගැටළු ඇතිකරගන්නවාට වඩා දරුවාට සුදුසු දෙය ඔබම තෝරා දීමෙන් අනවශ්‍ය ප්‍රශ්නවලට දරුවා නිරාවරණයවීම වළක්වා ගත හැකි අතර ජනාකීර්ණ පරිසරයක ඇතිවන තද බදය අවම කිරීමටද අවස්ථාව සැලසිය හැකිය. සාප්පු සවාරියේ යන ඔබ වාහනයක් පදවන්නේ නම් හදිසිවීම හා නොසැලකිල්ල යන තත්ත්වයන් දෙකද පාලනය කරගන්නේ නම් මැනවි. ඒ අනවශ්‍ය රිය අනතුරු අවම කරගැනීම සඳහාය. සෞඛ්‍ය රැකගැනීම යනු වෛද්‍ය විද්‍යාවේ උගන්වන සහ වෛද්‍ය විද්‍යාව විසින් නිර්ණය කිරීමට ක්‍රමවේදයන් සකසා ඇති රෝග පාලනය කර ගැනීම,ම නොවේ. ඔබේ ශරීර සෞඛ්‍ය නිසි පරිදි ඔබේ සැලකිල්ල මත ආරක්ෂණය කර ගැනීමයි.
ආහාර පානවලින් පමණක් නොවේ මහ මග යන එන විට ඇති විය හැකි අනතුරුද ඔබේ සෞඛ්‍යට තර්ජනයකි. බෝවන රෝග සහිත බව දන්නා පරිසරයක ආරක්ෂාවක් නැතිව ගමන් කිරීම හා ගැවසීමද සෞඛ්‍යට තර්ජනයකි. අඩු මුදලට හමු වූ පමණින් පදික වේදිකාවේ තබා විකුණන ආහාර ද්‍රව්‍යයන් මිලට ගෙන පරිභෝජනය කිරීමෙන් වැළකීමද සෞඛ්‍ය ආරක්ෂණයකි. මන්ද එවැනි ආහාර කල් ඉකුත් ඒවා වීමට ඇති ඉඩ කඩ ඇති බැවිණි. එමෙන්ම මෙකළ එසේ විකුණන ආලේප වර්ගද මිලට ගෙන තැවරීමෙන් වලකින්න. ඔබට අවශ්‍ය යම් ආලේපනයක් වෙත් නම් වගකීමක් ඇති තැනකින් කල් ඉකුත් වීමට වසරකට වඩා පවතින නිශ්පාදනයකින් මිලට ගන්න . කල් ඉකුත්වීමට ආසන්න ආලේපන මිලට නොගන්න. මන්ද ඇතැම් ඒවා සඳහන් දිනයට මාස කීපයක සිට කල් ඉකුත් වූ ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇති බැවිණි. එහෙනම් සාප්පු සවාරියෙන් භාණ්ඩ මිලට ගැනීමට පෙර තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීමට පියවර ගැනීමට අමතක නොකරන්න.
නාලිකා රාජපක්ෂ