හිසරදය, කරකැවිල්ල, හුස්ම බර බව, නාසයෙන් ලේ ගැලීම, වැඩියෙන් මුත්‍රා පිටවීම, පෙනීම බොඳ බවක් දැනීම , අතක පයක යම් දුර්වලතාවක් ඔබට දැනෙන්න පටන් ගෙන නම් , ඔබ පවුලේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන කතාකරන්න මතක තියාගන්නම ඕන. මේවා ඇතිවෙන්නේ වාත අමාරුවලට සෙමට , රක්තවාතෙට වයසට, වෙහෙසට කිය කියා ඔබම රෝග විනිශ්චයකට යන්න එපා.
සිගරට්, බීඩි, සුරුට්ටු මේ මොනවා වුණත් පොදුවේ ඔබ කරන්නේ දුම් උරන එකම තමයි. මේ හැම එකක්ම ඔබට අහිතකරයි. ඒ වගේමයි මත් පැන් පිටරටින් ගෙන්වපු එක බිවුවත් ගමේ පෙරන දෙයක් බිවුවත් මේවා මත්පැන් විතරයි.ඔබේ සිරුරට එයින් කිසිම ගුණයක් නොලැබෙන බව මතක තියාගන්න. ප්‍රෙෂර් එක තියෙද්දි මේ දෙවර්ගය බොනවා නම් ඒ කියන්නේ ඔබට ජීවිතේ එපාවෙලා. ගෙනාපු ආයුෂ ගෙවෙන්න කළින් ඔබේ ම මුදල් වැය කර ලෙඩෙක් වෙලා මියයන්න උත්සහ දරන කෙනෙක් ඔබ. ජීවිතේ සුවපත්ව විඳින්න ඔබ තරමක් දුරට කට පරිස්සම් කරගන්නත් ඕන. ලුණු අඩු කෑම ගන්නවා කියලා ඔබ බත් පතේ ලුණු අඩු කරාවි. නමුත් සැඟවුණ ලුණු ඔබව අමාරුවේ දමාවි. කරවල , ජාඩි, සකස් කළ මස් වර්ග ඒ කියන්නේ හැම් බේකන්, සොසේජ්ස්, ලිංගුස් වගේ දේවල්, ලුණු මිශ්‍ර කළ රට කජු බැදුම්, බැදපු අල පෙති ,අච්චාරු, මාමයිට්, ලුණු දෙහි, චට්නි, සෝස්, සුප් කැට, සුප් පැකට්, ලුණු මිරිස් යනාදිය සැඟවී සිට ඔබට ලුණු කවන බව මතක තියාගෙන මේ ආහාරවලින් ඈත්වෙන්න. මේවා පෝෂ්‍යදායක ආහාර යැයි කවුරුන් ඔබට කීවත් මේවාට වඩා විස රහිත ස්වභාවික පෝෂණයෙන් ඉහළ ආහාර බොහෝමයක් ඔබ වටාම පවතිනවා.
රුධිර පීඩනය වැඩි වෙන්නෙ මහත අයට විතරයි කියලා හිතාගෙන ඉන්න එපා. මහත වැඩි කෙනෙක් නම් මහත අඩුකරගන්න ඕන. නමුත් සිහින් අයෙකුට වුණත් ප්‍රෙෂර් එක වැඩි වෙන අවස්ථා තියෙන්න පුලුවන් මානසික අසහනය නිසාත් අධි රුධිර පීඩනය වැඩිවෙන බැවින් වෛද්‍යවරයා හමුවෙන්න යාම වැදගත්.
රුධිර පීඩනය බලවා ගන්න යන විට වෙනදා මෙන්ම ඔබට නියමිත ප්‍රෙෂර් පෙති අරගෙන සිටින්නට වග බලාගෙන සිටිය යුතුයි. ප්‍රෙෂර් බලන නිසා අද පෙති බොන්න ඕන නෑ මතයට ඔබ නතු වුණොත් ඔබේ ප්‍රෙෂර්
එක සම්බන්ධයෙන් ලැබෙන මිනුම වැරදි අගයක් ගන්නට පුළුවන් බව අමතක කරන්නම එපා.
පැයකට පෙර සිටවත් කිසිම දුම් වැටියක් පාවිච්චි කරන්න එපා
ආහාර වේල රැඟෙන පැය තුනක් ගෙවී යාමට ප්‍රථමයෙන් ප්‍රෙෂර් බලවගන්න එපා.
දින තුනකට පෙරවත් කිසිම මත් පැන් වර්ගයක් පාවිච්චි කරන්න එපා.
මනස කලබල හා අවිවේකී මොහොතක් නම් එම අවස්ථාවද සුදුසු නැත.
වේගයෙන් ඇවිදමින් හෝ දුවමින් වෛද්‍යවරයා වෙත නොයන්න. ප්‍රෙෂර් මැන ගන්නට යන විට විනාඩි 20 - ක් 30 ක් විවේකීව සිට යා හැකි නම් වඩාත් සුදුසුයි.
ප්‍රෙෂර් එක වෙනුවෙන් හැම කෙනෙකුටම ලබා දෙන්නේ එකම ඖෂධය නෙවෙයි. මේ නිසා ඔබ කිසිවිටෙක අනෙක් අයගේ ඖෂධ හා ඔබේ ඖෂධය ගලපන්න එපා. වෛද්‍යවරයෙකු ඔබට ලබාදෙන ප්‍රෙෂර් පෙති සම්බන්ධයෙන් තීරණය කරන්නේ ඔබට පවතින රුධිර පීඩනයේ ස්වභාවය සහ තත්ත්වය සම්බන්ධයෙන් රෝග විනිශ්චය කිරීමෙන් අනතුරුවයි. ඔබේ හිතවතෙකුට හෝ පවුලේ කෙනෙකුට ලබා දී තිබෙන ප්‍රෙෂර් පෙත්ත ඔබටත් සුදුසුයි කියා ඔවුන්ගේ ප්‍රෙෂර් පෙති වැරදීමකින්වත් ඔබ ලබා ගන්නට එපා.
බොහෝ විට ප්‍රෙෂර් පෙත්ත සමග ඔබට තවත් පෙති වර්ග ලබා දී තිබෙන්නට පුළුවන්. රුධිර ප්‍රතිකැටිකාරක එනම් ඇස්පිරින් වැනි ඖෂධ මෙන්ම රුධිර ලිපිඩ මට්ටම පාලනය කරන ඖෂධ ආදියත් ඔබේ අධි රුධිර පීඩන ඖෂධවලට අයත් වෙනවා. මෙම ඖෂධත් ප්‍රෙෂර් පෙති සමග ගන්නට නියම කරන්නේ රුධිර පීඩනය වැඩි වීම නිසා ඇතිවන රෝගත් මර්දනය කිරීමේ අරමුණින්. කෙසේ නමුත් ඔබ රුධිර පීඩනය මැනගන්නට යන මොහොතක කුස ගින්න, අධික නිදිමත, මත්ද්‍රව්‍ය හා ඇතැම් ඖෂධ පානය කර ඇති විට රුධිර පීඩන අගයන් වෙනස් විය හැකි නිසා ඔබේ එම තත්ත්වයන් සහිතව රුධිර පීඩනය මැනගන්නට පැමිණියේ නම් එය වෛද්‍යවරයාට නොසඟවා පවසන්න. එමෙන්ම සමහර අවස්ථාවලදී රුධිර පීඩනය මැනීමෙන් අනතුරුව ඔබට කිසියම් ඖෂධයක් නොදී නැවත පසු දිනත් රුධිර පීඩනය මැනීමට නියම කරන්නට හැකියි. මෙසේ දින තුනක් පමණ රුධිර පීඩනය මැන බැලීමෙන් අනතුරුව ඔබට ලබා දිය යුතු ඖෂධ තීරණය කරන්නේ රුධිර පීඩනය කොතරම් මට්ටමක රැඳී පවතීද ? නැතිනම් විශේෂ හේතුවක් මත එය වැඩි අගයක් ගෙන ඇත්ද යන්න නිර්ණය කිරීමටයි.
දැන් ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය අතට පැමිණ ඇත්නම් ඔබ කරන්නේ කුමක්ද , ඖෂධ නවත්වා දමනවාද? නැත ඔබ දිගටම ඖෂධ පානය කළ යුතු අතර වෛද්‍යවරයා විසින් එය නවත්තන්නට යැයි උපදෙස් දුනහොත් පමණක් එය නැවතීම කළ හැකිය. සාමාන්‍යයෙන් ඇතමුන්ට මුළු ජීවිත කාලය පුරාම ප්‍රෙෂර් පෙති ලබාගත යුතු බව පවසන්නට ඉඩ තිබේ. එවැන්නෙකු දිගින් දිගටම තම ඖෂධ සම්බන්ධයෙන් වෛද්‍යවරයා හා සාකච්චා කර භාවිත කිරීම වඩා සුදුසුය. එමෙන්ම එක මාසයක් සඳහා ලබා දුන් ඖෂධ නිර්දේශපත ඉදිරිපත් කර අනෙක් මාස සඳහා ඖෂධ ලබා ගැනීම නොකළ යුතුය. එක මාසයක් ඖෂධ සඳහා ලබා දෙන නිර්දේශපත වලංගුවන්නේ එක් මසක් සඳහා පමණි. දෙවැනි මස හෝ එයින් ඉදිරියට ඖෂධ නිර්දේශ ලබාගන්නා විට වෛද්‍යවරයාගේ අනුදැනුම වඩා වැදගත් බව සලකන්න.සමහරුන්ට කිසියම් නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඖෂධ මාත්‍රාවක් ලබා ගැන්මට අමතක වූවා නම් එය අනෙක් වේල ලබාගැනීමට ආසන්න මොහොතක මතක් වූවා නම් අමතක වූ මාත්‍රාව නොසලකා හැර නියමිත මාත්‍රාව පමණක් ලබාගන්න. කිසිවිටෙකත් මාත්‍රා දෙකක් එකවර ලබාගන්නට එපා. ඔබට අමතක වූ හෝ මග හැරුණු ඖෂධ වේල සඳහා නියමිත වේලාව පැයක් හෝ ඊට අඩු කාලයක් නම් මතක් වූ අවස්ථාවේ ඒ බෙහෙත් වේල ලබාගැනීම වරදක් නොවේ.
ඇතමුන් මේ ඖෂධවල පවතින අතුරු ආබාධ පිළිබඳ මහත් අවධානයක් දක්වයි. නමුත් ඇතැම් අතුරු ආබාධ පවතින නමුත් එය ඖෂධ ලබා නොගෙන සිටීමෙන් ඇතිවන සංකූලතාවලට වඩා අඩුය ඖෂධ ලබා නොගෙන සිටීමෙන් වඩාත් භයානක සංකූලතා මතුවිය හැකිය. ඒවායින් සමහරකි ආඝාතය, සහ හෘදයාබාධය මේ නිසා සමහරුන්ට ජීවිතයද අහිමි විය හැකි බැවින් අධි රුධිර පීඩනය වැඩිවීමට ඉඩ නොදී සැමවිටම පාලනය කර සිටීමට උත්සහ දැරිය යුතු රෝගයකි.
අධි රුධිර පීඩනය සඳහා ඔබ ලබාගන්නා ඖෂධ අතර ඖෂධ කීපයක් තිබීම ඔබට ගැටලුවක් ව පැවතිය හැකිය. නමුත් ඒ ගැන කළබලයට පත්වෙන්න අවශ්‍ය නැත. වෛද්‍යවරයා නියම කර ඇති ඒ ඒ ඛාණ්ඩවලට අයත් ඖෂධ ඒ නියමිත මාත්‍රාවන් අනුව ලබා ගැනීමට වග බලා ගන්න.
ඇතැම්විට ඇතමුන් මේ ඖෂධ සමග අත් බෙහෙත් ආදියද යොදනු ලැබූ අවස්ථා පවතින්නට පුළුවන. රුධිර පීඩනය අඩුකිරීම සඳහා නියමිත ඖෂධ භාවිතාකරන අතර රුධිර පීඩනය අඩුවෙන්නට වෙනත් ඖෂධ , ද ලබා ගතහොත් ඇතැම් විට රුධිර පීඩනය අඩුවී යාම වැඩි බවක් ඔබට දැනෙන්නට ඉඩ තිබේ. එය ඔබ ලබාගන්නා ඖෂධවල වරදක් සේ සලකා හිතුමතයේ නියමිත මාත්‍රාවන් අඩු වැඩි කිරීමෙන් වළකින්න. වහාම වෛද්‍ය උපදෙස් පතන්න. දැන් ඔබ මේ උත්සව සමගේ ඔබේ අධි රුධිර පීඩන තත්ත්වයන් වැඩි වෙන්නට ඉඩ නොදී නිසි පාලනයක පවත්වා ගන්නට උනන්දු වෙනවා ඇති . යම් අයුරකින් ගැබිණි අවදියේ පසුවන ඔබට අධි රුධිර පීඩනය ඇත්නම් බිය නොවී වෛද්‍යවරයා ඔබට නිර්දේශ කළ ඖෂධ භාවිත කරන්න. එයින් දරු කළලයට හානියක් නොවනා අතර ඖෂධ භාවිත නොකර සිටියහොත් දරු කළලයට හානියක් සිදු විය හැකිය. එමෙන්ම ඔබේ ගැබිණි සමයේ මතුවන අධි රුධිර පීඩනය සම්බන්ධයෙන්ද සුළු කොට තැකීමෙන් සහ ප්‍රවේශමක් නැති ආහාර රටාවෙන් ඇති විය හැකි බලපෑම්වලින් ප්‍රවේශම් වෙන්න. මන්ද ගැබිණි සමයේ ඔබට අන් අය විසින් සකස් කර දෙන ආහාර භාවිතයේදී අධික ලුණු සහිත ආහාර භාවිතා විය හැකි බැවිනි. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ලුණු සහිත ආහාර අධි භාවිතය කෙසේවත් අධි රුධිර පීඩනය සහිත රෝගියාට පමණක් නොව අධි රුධිර පීඩනය රහිත පුද්ගලයන්ගේ සෞඛ්‍යටද හානිකරය. ලුණු යනුවෙන් කී විට සෘජුවම නැතත් ආහාරවල සැඟවුණ ලුණු සම්බන්ධයෙන් ඔබ විමසිලිමත්වීම වඩාත් සුදුසුය. ඒ සියල්ලම ඔබට අධි රුධිර පීඩනයෙන් විය හැකි අතුරු ආබාධ පාලනය කරගන්නට උපකාරීවනු ඇත.
නාලිකා රාජපක්ෂ