කුද්දෙට්ටක් අතිවීම ගැන බොහෝ දෙනෙක් එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. එසේ ඇතිවන කුඩා ගැටිති කියම් ආකාරයකින් සිරුරේ ඇතිවන කිසියම් අර්බුදයක ලක්ෂණයක් විය හැකිය. නමුත් මෙවන් ගැටිති එළෙස පහසුවෙන් අමතක කර දැමීම එතරම් සුදුසු නොවේ. මේවා පරණවන්නට ඉඩ නොදී ඒ සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය. ඇතැම්විට මේ කියන කාරණය පිළිබඳ ඔබට මේවන විටත් යම් ගැටලුවක් මතුව තිබෙන්නට පුළුවන. අප ඒවාට කුද්දෙටි යැයි කියු විට මේ කියන්නේ කුමක් ගැනද යන්න ඔබ හොඳින් හඳුනනවා ඇත. ශරීරයේ කිසියම් තැනක කුද්දෙටි ඉදිමුමක් ඇතිවී වේදනා ගෙනදෙන විට බොහෝ දෙනා මෙය නම් කිසියම් තුවාලයක් සම්බන්ධ දැනුම්දීමක් බව දැන වහා වහා එම තුවාලයට බෙහෙත් යොදවා සුව කරගන්නට වෙහෙසෙන්නේ එසේ නොමැති නම් තුවාලයේ වේදනාවට අමතරව මේ කුද්දෙටි ඉදිමුමේ වේදනාවද දරන්නට සිදුවෙන බැවිණි. සැබවින්ම මෙසේ කුද්දෙටි ඉදිමෙන්නේ ඇයි? ශරීරයේ කිසියම් තැනක කුද්දෙටි ඇතිවීමට අනිවාර්යෙන්ම තුවාලයක් ඇතිවී තිබෙන්නටම උවමනාද? කුද්දෙටි නැතිනම් වසා ගැටිති මෙසේ ඉදිමීමට තුඩුදෙන වෙනත් ශාරීරික හේතුන් තිබිය හැකිද? අද අප සෞඛ්‍ය පිටුව තුළින් මේ කාරණය සාකච්ඡාවට බඳුන්කරමු.
ඇතැම් විටක අප වසා ගැටිත්තක් ඉදිමීම සම්බන්ධයෙන් සැලකිලිමත්වීමේදී එය පිහිටා ඇත්තේ ඉකිළි ප්‍රදේශයේ යැයි පවසමු. තවත් විටෙක එය කිහිල්ලේ යැයි පවසන අප තවත් විටෙක එය ගෙල ප්‍රදේශයේ ඇතිවී තිබෙන්නේ යැයි පවසමු. සැබවින්ම වසා ගැටිති පිහිටා ඇත්තේ කොතැනකද ? තොකැනක පිහිටා තිබුණත් වසා ගැටිත්තක් ඉදිමෙන්නේ නිකමට යැයි සිතා අමතක කිරීමෙන් වළකින්න. වසාගැටිත්තක් ඔබට ඉඟිකරනුයේ කුමක්ද යන්න ඔබ විශේෂයෙන්ම සොයා බැලිය යුතු කරුණක් වනුයේ එය මූලික ලක්ෂණ අතරින් එකක් ලෙස මතුකර පැන නගින වෙනත් රෝග නිසාමය. ගැටිත්තක් ලෙස වසා ගැටිත්ත ඉදිමී වේදනා දෙන්නේ ඉකිලිවලද , කිහිලි වලද එසේත් නැති නම් ගෙලෙහි කිසියම් ස්ථානයකද යන්න නොව අප මුලින්ම වසා ගැටිත්ත ඉදිමුණේ මන්දැයි සොයා ගන්නට උත්සහ දරමු . ඔබ රුධිර සංසරණය සේම සිරුරේ වසා පද්ධතිය ගැනත් යමක් අසා දැනගෙන ඇති. වසා පද්ධතිය සිරුරට විසල් මෙහෙයක් ඉටුකරන්නකි. එසේම
මිනිස් සිරුරේ වසා ග්‍රන්ථි යන කොටස් සිරුර පුරා පැතිරී ඇති දෙයකි. මේවායෙන් සිදුවන්නේ කුමක්ද ,ඇත්ත වශයෙන්ම සිදුවන්නේ සිරුරේ රුධිරයට අමතරව රුධිරයේ තරලය රුධිර වාහිනීවලින් පිටතට ගිය විට ඒවා වසා තරලය බවට පත්වීමයි. මේ වසා තරලය නැවතත් රුධිර පද්ධතියට ඇතුල්විය යුතුය. එසේ නොවුණහොත් එය ශරීරයේ එකතුවී ශරීරය ඉදිමීමක් ඇතිකිරීමට සමත්වෙයි. රුධිරවාහිනීවලින් පිටවන තරල පිටත ඇති පටකවල එක්රැස්වූ විට ඒවා නැවත රුධිර පද්ධතියට එක්කිරීමට ක්‍රියාකරන නාලවලට අප වසා නාල යැයි කියමු. මෙම වසා නාලවලට අප වසාවාහිනී යන නම ව්‍යවහාර කරමු. වසාවාහිනී හෘදය දෙසට මේවා ගෙන යනවිට ඒවා වසා ගැටිතිවල එකතුවී වසාවාහිනී හරහා ගමන්කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් ප්‍රධානතම වසා ගැටිති බෙල්ලේ, හිසේ පිටුපස ,කිහිල්ලේ, බඩ ඇතුළත
හා උරස් කුහරයේ ඇතුළත මැදට වෙන්නට , හා ඉකිලිය වැනි තැන් වල පිහිටා තිබේ. මේ හැරෙන්නට පොඩි පොඩි වසා ගැටිති සිරුරේ සෑම තැනකම පවතින්නට පුළුවන. දණහිස පිටුපස දණහිස ඇතුළත ආදී මේවාට උදාහරණවෙයි. දැන් අප මේවා විශාලවීමක් ඇතිවෙන්නට තුඩුදෙන හේතු මොනවාද යන්න හඳුනාගෙන සිටිමු. සැබවින්ම වසා ගැටිතිවල තිබෙන ප්‍රධානතම කාර්යය වෙන්නේ සිරුරට ඇතුළුවෙන විෂබීජ අපේ සිරුරේ පටකවලට ඇතුළුවූ විට රුධිරවාහිනීවලින් පිටවන තරලය වසා තරලය බවට පත්වෙන බැවින් එවා විසින් මෙවැනි විෂබීජ එකතුකරගෙන ගොස් වසා ගැටිතිවල තැන්පත්කර එම විෂබීජ විනාශයට පත්කිරීමේ කාරියත් අනෙක් අතට එම විෂබීජ වසා ගැටිත්තෙහි තිබියදී එම විෂබීජයට විරුද්ධ ප්‍රතිදේහ නිපදවීමත් ආරම්භකරයි.
එම නිසා මෙම වසා ගැටිති ඉතාම ප්රයෝජනවත්ය. උදාහරණයක් වශයෙන් අප පාදයේ පතුලේ ඇතිවූ තුවාලයක් සලකමු. එවිට එයින් ඇතුළුවන විෂබීජයකට විරුද්ධවීම සඳහා ඉකිලියේ ඇති වසා ගැටිත්ත විශාලවී ඉදිමීමක් දකින්නට ලැබිය හැකිය. ඇතැම්විට මේ වසා ගැටිත්තේ පැසවීමක්ද ඇතිවීමට ඉඩ තිබේ.ඇතැම්විට විශාලවශයෙන් බලපෑමක් ඇතිකරන විෂබීජයක් ඇතුළුවූ අවස්ථාවක එයින් ශරීරයට ඇතිකරන පීඩාව බලවත් නම් එයින් මේ වසා ගැටිත්තේ සැරව ගෙඩියක් ඇතිවීමටද ඉඩ තිබේ. වසා ගැටිති විශාලවීමට ඇති ප්‍රධානතම හේතුව මෙයය. විෂබීජ ඇතුළුවන ස්ථානය අනුව එසේ විශාලවන්නේ මොන කාණ්ඩයේ වසා ගැටිතිද යන්න දැනගැනීමට හැකියාව පවතී. මෙයට උදාහරණ සැලකුවහොත් පයක ඇතිවූ තුවාලයකින් නම් ඉකිලියේද, අතක තුවාලයකින් නම් කිහිල්ලේද හිසේ හෝ ශරීරයේ පපු කොටසේ ඇතිවූ තුවාලයකින් නම් ගෙල පිටුපසද, උගුරේ ආසාදනයක් ඇතිවූ විට ගෙල පෙදෙසේ වසා ගැටිතිද උදරකුහරයේ ඇතිවන තත්ත්ව වලදී උදර කුහරයේ ඇතුළත වසා ගැටිතිද, ඉදිමීමට පුළුවන.මේ හැරෙන්නට වසා ගැටිති ඉදිමීමකට ලක්කරන තවත් හේතුවකි සිරුරේ ඇතිවන පිළිකා. එවිට භාහිරෙන් යම් තුවාලයක් දකින්නට නැතත් වසා ගැටිත්තෙහි ඉදිමුමක් දැකිය හැකි වෙයි. ඒවා වසා නාල දිගේ පැතිරීමටද පුළුවන. එහෙයින් පිළිකා පැතිරෙන එක් ක්රමයකි වසා නාල දිගේ පිළිකා සෛල පැතිරීම . එසේ වසා නාල දිගේ පිළිකා සෛල ගමන්කර ඒවා වසාගැටිතිවල තැන්පත්වීමෙන් වසා ගැටිතිවලද පිළිකා හටගනියි. ඉන් අනතුරුව පිළිකාව එහි වර්ධනයවීමෙන්ද වසා ගැටිති ඉදිමෙයි. එමෙන්ම මෙම පිළිකාවලට එරෙහිව සටන්කිරීමේ හැකියාවක්ද මෙම පිළිකාවලට තිබේ.නමුත් පිළිකාවලට විරුද්ධව කරන සටනින් බොහෝවිට වසා ගැටිති පරාජයවෙන්නේ පිළිකාව යනු සුළු තත්ත්වයක් නොවන බැවිනි. වසා ගැටිතිවල පිළිකාව තැන්පත්වීම නිසා වසා ගැටිත්තෙන් එහාට පිළිකාව පැතිරීම තාවකාලිකව වැළැක්වෙන,ආරක්ෂක ක්‍රමයක් එහි තිබෙයි. එයින් පිළිකා සෛල පෙරීයාමක් වැනි දෙයක් සිදුවෙයි.
පිළිකා සෛල එහි රැඳීමද එක්තරා ආරක්ෂක ක්‍රමයක් ලෙස සැලකෙන්නේ එබැවිනි. පිළිකා සෛල වසා නාල හරහා මුළු ශරීරයේම පැතිරෙනවා වෙනුවට වසා ගැටිතිවලට පමණක් පැතිරී නැවතීමක් සිදුවෙයි.තරමක් සුලභ නොවන හේතු කීපයක්ද මෙහිදී අවධානයට ලක්විය යුතුය. ඒ වෛරස හේතුවෙන් සිදුවන වසා ගැටිති විශාලවීමයි. බොහෝවිට එසේ විශාලවන වසා ගැටිති එම වෛරස ආසාදනය නැතිවී ගිය විට නැවත කුඩාවීමට හැකියාව තිබේ. ක්ෂය රෝග විෂබීජය ඇතුළුවූ විටද එම වෛරස ඇතුළු වූ කොටසේ වසා ගැටිති ඉදිමීමකට ලක්වෙයි. පෙනහළුවලින් ඇතුළු වූ විට පෙනහළුවේ මැද වසා ගැටිති විශාලවෙයි. මෙම විෂබීජය උගුරෙන් ඇතුළුවූ විට බෙල්ලේ වසා ගැටිති ඉදිමෙයි. ඇතමුන් මෙම වසා ගැටිති හා ෂෙබේසස් සිස්ට් යනුවෙන් හඳුන්වන සමේ ඇතිවන ගැටිති හා පටලවා ගනී. නමුත් වසා ගැටිති හටගන්නේ සමට බොහෝ යටිනි. නමුත් ඇතැම්විටක වඩා විශාල වූ වසා ගැටිති හා විශාලවූ සෙබේෂස් සිස්ට් වෙන්කර හඳුනාගන්නට අපහසුවක් මතුවිය හැකිය. කලාතුරකින් පරපෝෂිතයින් හේතුකොටගෙනද මෙම වසා ගැටිති මතුවෙන්නට පුළුවන. ලංකාවේ මෙසේ බහුලවම දැකිය හැකි පරපෝෂිත විශේෂයකි බළලුන්ගේ මළ කොටස්වල වෙසෙන ටොක්සොප්ලාස්මා නම් පරපෝෂිත විශේෂය. මේවා මිනිස් ශරීරවලට ඇතුළු වූ විට වසා ගැටිතිවලට ගිය විට ඒ හේතුවෙන් වසා ගැටිති ඉදිමීමකට ලක්වෙයි.. ඒ නිසා විශේෂයෙන් ගර්භීණී මවකට මෙම පරපෝෂිත විශේෂයෙන් බලපෑමක් ඇතිවූ විට එය ගැබේ සිටින දරුවාට විවිධ සංකූලතා මතුකරවීමට බලපෑ හැකිය.
ඊළඟට තවත් ආකාරයකින් ලංකාවේ ඇතිවිය හැකි කලාතුරකින් නමුත් වාර්තා වෙන පරපෝෂිත උවදුරකි ලීෂ්මානියා යනුවෙන් හඳුන්වන පරපෝෂිතයා. වැලි මැක්කන්ද එවන් පරපෝෂිත විශේෂයකි. නමුත් මුලදී අප කීවාක් මෙන් පිළිකා තත්ත්වයන්වලදී හැරුණු විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන පිළිකා තත්ත්ව මුලින්ම බෙල්ලේ ඇතිවෙන කුද්දෙටි ඉදිමීමක් හරහා වුවද දැනගැනීමේ හැකියාව ඇත. එමෙන්ම පියයුරු පිළිකාවලදීද කිහිල්ල ආශ්‍රිතව මෙවන් කුද්දෙටි ඉදිමුමක් දැකිය හැකිය. ශල්‍යකර්මවලට ලක්කිරීමේදී එම පිළිකාවලදී වසා ගැටිතිද ඉවත් කෙරෙයි. වසා ගැටිති විශාලවූ විට ඉවත් කරන්නට පළමුව මේවා නිසි පරිදි පරීක්ෂාවට ලක්කළ යුතුය.
සාමාන්‍යයෙන් කුද්දෙටිවලින්ම ඇතිවෙන පිළිකාද පවතී. එනම් වසා සෛලවලින් ඇතිවන පිළිකාද මෙහිදී අවධානය යොමුකළ යුතු කරුණකි.මෙය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ යුතුවන්නේ මෙවැනි අවධානමක් පවතින බැවිනි. සැබවින්ම මෙවැන්නක් දුටුවහාම වෛද්‍ය පරීක්ෂාවකට ලක්වීමට පමා නොවෙන්නට වගබලා ගන්න. අවශ්‍ය පරීක්ෂණවලට යොමුවෙන්න. පළමුව ඉඳිකටුවකින් විද ලබාගන්නා සෛල පරීක්ෂාවක්ද අනතුරුව ලොකු සිදුරක් ඇති ඉදිකටුවක් මාර්ගයෙන් කුද්දෙටියෙන් කොටසක් ගෙන සිදුකරන පරීක්ෂණද සම්පූර්ණ කුද්දෙටියම ඉවත්කර කරන පරීක්ෂණද මෙයට ඇතුළත්ය. කෙසේ නමුත් මෙය මදක් සංකීර්ණ කරුණකි. මේ අනුව වසා ගැටිති සම්බන්ධයෙන් නොසැලකිලිමත් නොවිය යුතුය. වසා ගැටිතිවල රෝගය පවතින අවස්ථාවේදී මෙය හඳුනාගතහොත් එයින් පිටතට රෝගය ව්‍යාප්තවීමේ හැකියාව අහුරා දැමිය හැකිය. මේ නිසා වසා ගැටිත්තක් ඉදිමෙන්නේ එයට ඉටුකරන්නට වෙනත් කාරියක් නැති නිසා නිකමට යැයි නොසිතන්න .
එය ඔබට කිසියම් අනතුරු ඇඟවීමක් සිදුකරන්නේද යන්න දැන ගැනීමට ඔබේ ශල්‍ය වෛද්‍යවරයා මුණගැසී සාකච්ඡා කරන්න. බොහෝ විට මෙවැනි සරල ලක්ෂණ නොතකා හැරීම තුළ ඔබ වඩාත් දරුණු සංකූලතා සමග පොරබදන්නට සිදුවන යුගයකට අතවනනවා විය හැකි බැවින් ප්‍රථමයෙන්ම ඔබ ඔබේ නිරෝගීතාවය සම්බන්ධ කිසියම් නිශ්චය සහතිකයක් ලබන්නට උත්සහ දරන්න. මේ කරුණු ඔබේ මතකයට එක්වීම වඩා වැදගත්වනුයේ ඔබේ සමීපතමයන්ගේ ආරක්ෂාවද මෙවන් තත්ත්වයකදී ඔබ අතින් සහතික වෙන බැවිණි. අදම ඔබ ඔබේ දැනුමට එකතුකරගත් දේ ඔබේ සමීපතමයන්ගේ සෞඛ්‍යයේ සුරක්ෂිතතාව සඳහාද ආදේශ කරන්නට අමතක නොකරන්න.