ස්වභාවික ගබ්සාවීම් නැතහොත් Miscarriage පිළිබඳව පසුගිය සතියේ ගෙන ආ වෛද්‍යමය ලිපියේ ඉතිරි කොටස මෙසේ දිග හැරේ. මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා මහතා දැක්වූ අදහස්ය.
ගබ්සාවක් ඖෂධ මගින් වළක්වා ගත හැකිද?
දැනට තිබෙන වෛද්‍යමය පරීක්ෂණ අනුව කිසිම අයුරකින් ගබ්සා වීමක් වළක්වා ගන්නට හැකියාවක් නැහැ. වෛද්‍යවරුන් එන්නත් හෝ ඖෂධ වර්ග මවකට ලබාදෙන්නේ හෝමෝන වර්ගයි. එයට පදනම් වන්නේ ගබ්සාවක් සිදුවන මවකගේ ශරීරයේ හෝමෝන ප්‍රමාණයන් පරීක්ෂා කිරීමේදී එම හෝමෝන අඩු බව පෙනී යන නිසායි. ඒ නිසා එලෙස හෝමෝන අඩුවන විට පිටතින් හෝමෝන ලබාදීම හොඳ බවට වෛද්‍යවරුන් කල්පනා කළා. නමුත් මෙලෙස මවකගේ හෝමෝන අඩු වන්නට හේතුවක් වී තිබෙන්නේ Pregnancy එක Fail නිසායි.
එනම් මේ ගර්භය අසාර්ථක එකක් වීමයි. එලෙස අසාර්ථක ගර්භයන් අපිට පිටතින් හෝමෝන ලබාදීමෙන් හෝ ගබ්සා වීම වළක්වා ගන්න බැහැ. දැනට තිබෙන දත්ත අනුව විද්‍යාත්මකව පිටතින් ලබාදෙන කිසිම එන්නතකින් හෝ බෙහෙත් පෙත්තකින් ගබ්සාවීමක් වළක්වන්නට හැකියාවක් නැහැ. එයට හේතුවන්නේ ගබ්සාවන්වලින් 99෴කටම හේතුවන්නේ ජානමය ගැටලු වීමයි. පිටතින් ලබාදෙන ඖෂධවලින් මෙකී ජානමය ගැටලු ප්‍රකෘතිමත් කිරීමට නොහැකියි. නමුත් මෙම ඖෂධ හා එන්නත් ලබාදීමෙන් හානියක් සිදු වෙන්නේ නැහැ. එයින් මානසික වශයෙන් සුවයක් ලබාදෙනවා. සාමාන්‍යයෙන් දරුවෙකු බලාපොරොත්තුවන මවක් ෆෝලික් අම්ලය දිනපතා ලබාගැනීම පමණක් ගර්භිණී වන්නට පෙර හා ගර්භිණී වී සති 12ක් යන තුරු ප්‍රමාණවත් වෙනවා.
ගබ්සාවක් මීළඟ දරු ප්‍රසූතියට බලපෑම් එල්ල කරනවාද?
ගබ්සාවක් සිදුවීම තුළින් මීළඟ දරු පිළිසිඳ ගැනීමට හානියක් සිදු වෙන්නේ නැහැ. නමුත් ගබ්සාවේදී සිදුවන ක්‍රියාකාරකම් මීළඟ පිළිසිඳ ගැනීම කෙරෙහි බලපෑම් එල්ල කළ හැකියි. විශේෂයෙන් ගබ්සාවූ කලලය ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදුකළහොත්, බඩ හේදීම, ගැබ්ගෙලට හෝ ගර්භාෂයට හානිවීමක් සිදුවුවහොත්, ආසාදනයක් සිදුවුවහොත් වැනි අවස්ථාවලදී යළි ගැබ්ගැනීමක් සිදු නොවීමට හැකියාවක් පවතිනවා.
යම් ගර්භිණී කාන්තාවකට රුධිර වහනයක් සිදුවන්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යෑම අනිවාර්යයෙන් ඉතාම වැදගත් වෙනවා. ගැබක් ගර්භාෂයෙන් පිටත පිහිටි අවස්ථාවක ක්‍රමයෙන් රුධිරය වහනය වී ගබ්සා වීමක් සිදුවන්නේද යන්න සොයා බැලිය යුතුයි. එසේම රුධිර වහනයක් සිදු වූ අවස්ථාවක ස්කෑන් පරීක්ෂණයක් සිදු කර කලලය පවතින්නේද, නැතිද යන්න පිළිබඳ සොයා බැලිය යුතුයි. තවද ගබ්සාවක් සිදුවී ඇත්නම් සම්පූර්ණයෙන් කොටස් ඉවත් වී ඇතිද? නැත්නම් කොටස් ඉතිරිවී ඇතිද? යන්න ස්කෑන් පරීක්ෂාවකින් තහවුරු
කරගත යුතුයි.
ස්කෑන් පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එයට ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද? යන්න වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබයි. ඒ අනුව පළමුව රුධිර වහනයක් සිදුවුණත් භ්රෑණයාගේ හෘද ස්පන්දනය පවතීනම් එම කලලය ගැටලුවක් නැතිව වර්ධනය වේ යැයි අපේක්ෂා කළ හැකියි.
නමුත් දරු ගැබ ගර්භාෂයේ තිබියදී දරුවාගේ හෘද ස්පන්දනය නතරවී ඇති බව තහවුරු වේ නම් විධි තුනකට එම කලලය ඉවත් කළ හැකියි. මියගිය කලලය ස්වභාවිකවම පිටතට එන තුරු සති කිහිපයක් බලා හිඳීම, ඖෂධ මාර්ගයෙන් මියගිය කලලය පිටතට ගැනීම, ගැබ්ගෙල විවෘත කර මියගිය කලලය සැත්කමක් මාර්ගයෙන් පිටතට ගැනීම. එම ක්‍රම තුන වේ.
එසේම රුධිර වහනයක් සිදුවී කොටසක් ඉතිරිව පවතින අවස්ථාවකදී එම කොටස් ස්වභාවිකව ඉවත් වන තුරු බලා සිට එසේ නොවේ නම් බඩ සේදීම සිදුකළ හැකිය.
ස්වභාවික ගබ්සාවීමක් සිදු වූ මවක් විශේෂ පරීක්ෂණවලට ලක් නොවී යළි දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් බලාපොරොත්තු විය හැකිය.
නමුත් සති 24ක් හෝ ඊට වැඩි කලලයක් ගබ්සා වූ අවස්ථාවක විශේෂ පරීක්ෂණවලට ලක්විය යුතුය. සති 12ට අඩු කලලයක් ගබ්සා වීමක් සිදු වුවහොත් විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැති අතර මීළඟ දරු ප්‍රසූතියට කල් ගැනීමක් අවශ්‍ය නොවේ.
නමුත් ගබ්සා වීම් කිහිපයකට මුහුණදුන් මවක් අපි Recurrent Miscarriage ලෙස හඳුන්වනු ලබනවා. සාමාන්‍යයෙන් ගබ්සාවීම් තුනකට පමණ මුහුණ දුන් මවුවරුන්ව අපි විශේෂ ප්‍රතිකාරවලට ලක්කරනවා හතරවැනි පිළිසිඳ ගැනීම ගබ්සාවකින් කෙළවර නොවීම වෙනුවෙන්. එය විශේෂිත අවස්ථාවක් ලෙසයි අපි සලකනු ලබන්නේ.
යම් කිසි කාන්තාවක් ගබ්සාවක් උවමනාවෙන්ම සිදුකරගෙන ඇති අවස්ථාවක අපි එය %Septic Miscarriage^ ලෙස හඳුන්වනු ලබනවා. මෙවැනි දේවල් සිදු කරන්නට ගන්නා උත්සහයන් නිසා මවට විවිධ ආසාදන ඇතිවෙනවා. එම ආසාදන සිදු වුණාට පසු ජීවිත කාලයටම යළි දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවීමට හැකියි. එසේම අධික ලෙස ආසාදනය වීමක් සිදුවුවහොත් ගර්භාෂය ඉවත් කිරීමට පවා සිදුවෙනවා. එසේම ජීවිත කාලය පුරාවටම අධික වේදනාවක් සමග ජීවත් වීමටත් සිදුවනු ඇති.
ගබ්සාවක් සමග ඇතිවන මානසික කඩා වැටීම?
ඕනම මවකගේ බලාපොරොත්තුව වන දරු සිහිනය බොඳ වී යෑමට හේතුව මොකක්ද යන්න මෙම මානසික කඩාවැටීමට බලපාන්නේ නැහැ. එම මවට දුකක් ඇති වීම ස්වභාවයෙන්ම සිදුවන්නක්. නමුත් මේ දුකම අපිට කළමනාකරණය කරගන්න පුළුවන් එයට හේතුව ඇයට වටහා දීම තුළින්. ගබ්සා වීමක් සිදුවන්නේ 99෴ක්ම ජාන විකෘතිතා සහිත පිළිසිඳ ගැනීමක් නිසා බව ගර්භිණී මවක් තේරුම් ගන්නවා නම් එම දුක අඩු කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම මෙලෙස ගබ්සාවීමක් සිදුවන මවකගේ මීළඟ දරු පිළිසිඳ ගැනීම නීරෝගී එකක් වීමට ඇති හැකියාව ඉහළයි.
නදීශානි පතිරණ