ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වශයෙන් දකුණු ආසියාව තුළ නම් කිරීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු වන බිල් ගේට්ස් මහතා පවසයි.
බිල් ගේට්ස් මහතා මෙම ප්‍රකාශය සිදුකොට ඇත්තේ ගෝලීය අරමුදල විසින් පසුගිය සතියේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් පැවැත්වූ දේශනයෙන් අනතුරුවය.
ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබව පැහැදිලි කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මැලේරියා රෝගය රට තුළින් තුරන් කිරීමට ආසන්න තත්ත්වයකට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන බවත්, මේ වසරේ රට අභ්‍යන්තරයෙන් එකම රෝගියෙකු හෝ වාර්තා වී නොමැති බවත්, වාර්තා වී ඇති රෝගීන් කිහිපදෙනා විදේශ රටවල සිට පැමිණි අය බවත් පැවසීය.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූ බිල් ගේට්ස් මහතා මැලේරියා රෝගය තුරන් කිරීම පිණිස විධිමත් පියවර ගැනීම අගය කරන බවත්, දකුණු ආසියානු කලාපයට ශ්‍රී ලංකාව ආදර්ශයක් බවත් පැවසීය.