දරුවෙක් ලෙඩ වෙනවා කියන්නේ ඕනෑම වෙලාවක වෙන්න පුලුවන් දෙයක් .නමුත් මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දී නිවසේ වෙසෙන දරුවන් මේ දිනවල වැඩිපුරම ගැවසෙන්නේ වෛද්‍යවරු හෝ රෝහල් ගානේ? අම්මලා තාත්තලා හිතන්නේ මේ දරුවට ඇස්වහ කටවහ වැදිලා, එහෙමත් නැතිනම් කවුරු හරි හූනියමක් කරලා.
කළින් ඉහෙන් බහින රෝගයක් නොතිබුණ දරුවා දැන් නිතරම ලෙඩ වෙනවා. මේ මෙකළ බොහෝ දෙමවුපියන් පවසන කතාවක් . මෙහෙම වෙන්නේ ඇයි කියලා විතරක් දැනගෙන මදි .දෙමවුපියනුත් දරුවනුත් ඒකාකාරීව දැනුම්වත් වී මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මෙය කිසියම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් ශරීරගතවීම නිසා ඇතිවන තත්ත්වයක් නෙවෙයි. සැබවින්ම මෙය මානසිකව ඇතුලු වූ වෛරසයක් නැතිනම් බියක් පදනම් වූ තත්ත්වයක්.
සාමාන්‍ය පෙළ කියන්නේ දරුවාගේ ජීවිතය සහ අනාගතය තීරණය කරන එකම සාධකය නොවේ. දරුවා කිසියම් ආකාරයක උසස් අධ්‍යාපනයක් සඳහා එළැඹෙන ගමනට කිසියම් ප්‍රවේශයක් ලබාගන්නට උපකාරී වන පරීක්ෂණයක් පමණයි. මෙය සමත්වීම හෝ අසමත්වීම මත කෙනෙකුගේ අධ්‍යාපනය සහ ජීවිතය මුලුමණින්ම අවසන් නොවන බව පළමුවෙන්ම සිතිය යුතු කාරණයක්.
විභාගයට මුහුණ දුන් දරුවාට ඊළඟට මුහුණ දීමට ඇති ප්‍රධානම අභියෝගය වනුයේ එහි ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු තම දෙමවුපියන් අසල්වැසියන්ට මුහුණ දීමට ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ මානසිකව ඇතිකරගන්නා ව්යාකූලතාවයන්ය. ඒ නිසා වෛද්‍ය පරීක්ෂණවලට හසුනොවන රෝගිබාධවලට දරුවන් ගොදුරුවන තත්ත්වයක් සෑම විභාගයකින් පසුව ප්‍රතිඵල නිකුත්වීම ආසන්න වන විට මතු විය හැකි තත්ත්වයකි.
දරුවා ගේ මානසික මට්ටම කඩානොවැටෙන පරිදි ප්‍රතිඵල වෙත එලැඹීමට වැඩිහිටි ගුරුදෙගුරුන් විසින් දරුවාට උපදෙස් දීම වඩා වැදගත්ය. සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් කතාකළහොත් එය දරුවා උසස්පෙළ හැදෑරීම සඳහා කුමන අංශයක් තෝරා ගන්නේද යන්න තීරණයක් ලබාගැනීමට සෘජුවම උපකාරීවන තත්ත්වයක් සේ පමණ ඉක්මවා යන තක්සේරුවක් මවා දක්වමින් දරුවාගේ අනාගතය රැඳී ඇත්තේ මුළුමණින්ම එහි බව අවධාරණය කරවීම තුළ දරුවා යම් යම් ආබාධයන් තමන්ට ඇතැයි යන්න පැමිණිලි කරමින් අදාල තත්ත්වයට මුහුණදීමට තිබෙන බිය පළ කළ හැකිය.
දැන් අපට ගැටලුවක් මතුවනුයේ දරුවාට මේ තත්ත්වය ඇතිවනුයේ මානසිකව නම් කායිකව රෝග ලක්ෂණ මතුවන්නේ කෙසේද යන්නයි. මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය කායික මානසික අංශ දෙකින්ම ක්රියාකරවන්නක්. සිතන්න. පිපාසය කායික අවශ්‍යතාවයකි. නමුත් එය නිවාන්නට පානය කරන්නේ කුමක්ද යන්න සිතීම මානසිකමය වශයෙන් ඇතිවන්නකි. මේ අනුවද කායික ක්‍රියාකාරිත්වය සමග සැමවිටම මානසික ක්‍රියාකාරිත්වයද බැඳී සිටී.තවත් සරල උදාහරණයක් සැලකුවහොත් ඔබ දැඩිව බිය වූ අවස්ථාවක් සිහිපත් කරගන්න.
බිය ඔබේ මනසින් අත්විඳින්නක් වුවත් එම අවස්ථාවේ සිරුරෙන් දහඩිය දැමීම වචන පැටලීම දහඩිය දැමීම සිරුර වෙවුලීම ආදී අනෙකුත් එම අවස්ථාවේ මතුවන ශාරීරක ලක්ෂණ පෙරකී මානසික මට්ටම හා සමාන්තරව මතුවූවකි. මේ අනුව ශරීරය සහ මනස එකිනෙකා හා අන්තර් ක්‍රියාවක යෙදෙන බව ඔබට පැහැදිලි වනු ඇත. එම නිසා මේ දිනවල දරුවාට නොනැවතී මතුවන බඩේ කැක්කුම්, හිසරද , නින්ද නොයෑම කොන්ද කැක්කුම් ( වෙන කවරදාකවත් නොතිබුනු ) වමනය ඔක්කාරය, ආහාර අජීර්ණය නොනවතින වේදනා කැක්කුම් ආදිය මනස මුල්කොටගෙන ඇති වූ ඒවා විය හැකිය.
එහෙයින් එවැනි දෙයක් ඇති නොවන්නට දරුවාගේ මනස නිරවුල් කරවීම දෙමවුපියන්ගේ පාර්ශ්වයෙන් විය යුතු සේම ජීවිතේ අභියෝග යනු මුහුණදීමට ඇති ඒවා මිස පලායාමට හුරු විය යුතු ඒවා නොවන බවත් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය වෙනස් කරන්නට කළ හැකි යමක් නොවන නිසාවෙන් වැරදුනු තැන් අවබෝධ කරගෙන නැවතවතාවක් ඉදිරියට යන්නට උත්සහ ගැනීමත් විභාගය සමත් නම් එය අවසාන අවස්ථාව නොව තව තවත් විභාගවලට ඉදිරියේදී මුහුණ දිය යුතුව ඇති බැවින් ඒ සඳහා වැඩි සූදානමක් තබාගන්න යනුවෙන් දරුවා ගේ මනසට ධනාත්මක සිතුවිලි ඇතුල් කළ යුතුය.
අන් අය හා දරුවා සැසඳීමෙන් වළකින්න. ඔබේ අතේ ඇඟිලි වෙනස්වෙන්නා සේම දරුවෙකුගෙන් තවත් දරුවෙකු වෙනස් බව අමතක නොකරන්න. දරුවාගේ ප්රතිඵලවල සාර්ථක බව පසසන්න ඔබ උත්සව පවත්වන්නට සිතන්නා සේම දරුවාගේ අසාර්ථකත්වයක් දුටු විට ඔහු හෝ ඇය තනි නොකර තමන් ඔවුන් සමග බව ඒත්තු යන සේ ඊළඟ අවස්ථාවට මුහුණ දෙන්නට දැන්ම සූදානම්වන සේ දරුවාව ශක්තිමත් කරන්න. ඒ තුළින් ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව ඇතිවන අවාසනාවන්ත සිදුවීම් බොහෝ දුරට මග හැරගත හැකිය. අද පාඨක ඔබේ දරුවාටත් එවන් ගැටලුවක් ඇත්නම් 077 2 660 662 වෙද්‍යවරයා හා සාකච්ඡාකර වැඩිදුර තොරතුරු විමසිය හැකිය.