ඕනෑම කෙනෙක් ජීවිතයේ සතුට ලෙස සිතන්නේ යස ඉසුරු සපිරි අගහිඟකම් නැති ජීවිතයක් බවට සැකයක් නැහැ. නමුත් ඔබේ ජීවිතයේ සියලු සැප සම්පත් ඔබ සතු වුවත් මානසික වශයෙන් ඔබට සතුටක් නැතිනම් ඒ යස ඉසුරුවල කිසිම පලක් නැති බව ඔබටම වැටහී යනු ඇති නමුත් බොහෝ දෙනෙක් අඩුවෙන්ම සිතන්නේ තමන්ගේ මානසික සෞඛ්‍යය ගැන කිවහොත් එහි වරදක් නැහැ.. ඔබ කිනම් රැකියාවක යෙදුනත් ඔබේ සතුට ඔබේ සැනසීම පිළිබඳ සැලකිලිමත් බවක් දක්වනවාද යන්න මොහොතක් සිතා බලන්න. ඔබ ඔබේ මානසිකත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවනවා නම් ඔබ ඔබේ මානසික විවේකය සහ මානසික සැහැල්ලුව සම්බන්ධයෙන් වගකීමක් නොගන්නේ නම් ඔබ වෙනුවෙන් වෙන අන් කවරෙක් ඒ කාරිය ඉටු කරයිද ? ඔබ ඔබේ මානසිකත්වය අමතක කොට හැල්මේ දුවමින් කිනම් සම්පතක් ගොඩ නගා ගත්තත් ඒ සියල්ලන්ටම වඩා වටිනා සන්තුෂ්ටිය යන ධනය උපයා ගන්නට ඔබ අසමත් වූයේ නම් ඔබ ලබා ඇත්තේ දිණුමක් නොව පරාජයක්මය යන සිතුවිල්ල ඔබට ඇති විය හැකිය. අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. මේ කරැණු කාරණා අද අප ඔබට ගෙන එන්නේ ඔබේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ සැලකිල්ලක් දක්වා තිබේද, එසේ නොමැති නම් එයට අදම ආරම්භයක් දෙන්නේ කෙසේදැයි ඔබටම තීරණය කරන්නටය.
මානසික සෞඛ්‍ය කුමක්වුවත් බොහෝ දෙනෙකුට වුවමනා ශාරීරික කැක්කුම් ආබාධ ලෙඩ රෝග ආදියෙන් මිදී දවස හැල්මේ දුවා දවසේ වැඩකටයුතු කෙසේ හෝ අවසන් කරගන්නටය. මෙහිදී තමන් අප්‍රියකරන දේ තමන් කෙසේවත් නොකැමති දේ කොතරම් කරන්නට සිදුවීද ඒ නිසා මනස කොතරම් අප්‍රසන්න දෑ ඉවසා සිටියේද යන්න ඔබටම අමතකවනවා නොවෙද? සිතේ සතුට අහිමිව කුමක් ලැබුණත් පලක් නැති වග මෙහිදී ඔබ පවසාවි. ඔවු ළදරුවාගේ සිට මහල්ලා දක්වා අපේ ජීවිතය හා බැඳි පවතින හුස්ම මෙන් ඔබට මානසික සෞඛ්‍ය යහපත් ලෙස පැවතීම අත්‍යාවශ්‍ය වන බව මෙහිදී අවිවාදයෙන් පිළිගන්නට ඔබ ප්‍රමාද නොවනු ඇත.මනස යනු අප කිසිවෙකුට අත තබා පෙන්වන්නට බැරි තැනක පිහිටා ඇති දෙයක් බව ඔබ දනී .පිටතට මනස යන අවයවය නොපෙනුනාට ඔබ මනස මෙහෙයවන ආකාරයෙන් ඔබ කිනම් පුද්ගලයෙක්ද යන්න බාහිර සමාජයට යම් දැනීමක් පෙනීමක් ඇතිකරවන්නට සමත්ය. ඇතැම් පුද්ගලයින් සමාජ විරෝදී යම් ක්‍රියාවක නිරතවන විට සමාජය තමන්ව පිළිකුල් කොට හෙලා දකින්නේද යන්න සැකය නිසා සමහරුන් තමන්ගේ හැසිරීම කිසියම් මවාගත් ඇවතුම් පැවතුම්වලින් වසාගන්නට උත්සහ දරන්නේය යන කාරණය අප අනාදිමත් කාලයක සිට අසා ඇති දෙයකි. බැටලු හම් පොරවා ගත් සිංහයන් වගේ යැයි ජනප්රවාදයේ ඇතැම් පිරුලු ගොඩ නැගී ඇති ආකාරය සලකා බලන විට මෙය අද ඊයේ ඇති වූ කාරණයක් නොවන බව ඔබට පැහැදිලි වනු ඇත. සැබවින්ම මානසික මට්ටමේ යම් යම් අසාමාන්‍යතා අප ඕනෑම කෙනෙකුට ඇති විය හැකිය. එය මානසික රෝගයක් කොට තැකීමට නොහැකිය. මානසික රෝග වෙනත් කාරණයකි.
ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් හා පරීක්ෂණ අවශ්‍ය වන නමුත් ඇතැම් සුළු සුළු මානසික තත්ත්වයන් ඇතැම් විට චර්යාත්මක වෙනස්කම් වලින් පමණක් මගහරවා ගත හැකිවනු ඇත. ඇතමුන් ජීවිතයේ සාමාන්‍ය කරුණු කාරණා සම්බන්ධයෙන් මැදහත්වීම වෙනුවට තමන්ගේ කාරණයට අනුන්ට දඬුවමක් දෙන්නට සිතට ගනී. විෂාදය වැනි රෝග තත්ත්වයන් දිගු කාලයක් පුරා හඳුනාගන්නට නොහැකිව පැවතෙන්නට ඉඩ හැරි විට මෙවැන්නෝ ඉතාම සුලු කරුණු කාරනා වෙනුවෙන් සිය දිවි නසාගන්නට සිතන අවස්ථා හමුවෙයි. බොහෝ විට මෙවැන්නන්ට සිය දිවි නසාගන්නට කිසිත් කරැණක් නැතත් ඔවුන් මානසික අවපීඩනයේ නැති නම් විෂාදයේ තීව්‍රතාවය අනුව තවත් අයට පාඩමක් ඉගැන්වීමට නැතිනම් තවත් තෙනෙකුට දඬුවමක් දීමට සැකය, විරහව සහ දුක වැනි මනසින් ඇද වැටෙන දුර්වල මනෝභාවයන් යොදාගනී.
අප ඇතැම් පුද්ගලයන්ගේ කේන්තිය සම්බන්ධයෙන් මදක් විමසා බලමු. කේන්තිය යනු මානසික රෝගයක් යැයි කෙළින්ම සලකනවාට වඩා එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සිතා එය පාලනය කරගන්නට පුලුවන්ද යන්න සොයා බැලීම සහ උත්සහ දැරීම වැදගත්ය. නමුත් අධික ලෙස කේන්ති ගන්නා අයෙකු ඇතැම්විට තමන් තුළ ඇතිවෙමින් පවතින කිසියම් මානසික විපර්යාසයක ලක්ෂණයක් ලෙස එම තත්ත්වයට පත්වෙනවා ඇති. ඒ කේන්තිය අන් අයට හිංසාකාරී ලෙස මතුවන්නට පටන්ගෙන ඇත්නම් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අත්‍යවශ්‍ය වනුයේ එම පුද්ගලයාගේ හැසිරීම ඔහු හා ජීවත්වන අනෙකුත් පුද්ගලයන්ගේ මානසික නිරෝගීතාවය කෙරෙහි එක එල්ලේ බලපෑ හැකි බැවිණි. පෞරුෂ දුර්වලතාවයන්ද ඇතැම් විට නොයෙකුත් මානසික ව්‍යාකූලතා වශයෙන් මතුවීමට ඉඩ තිබේ. නමුත් මේ සියල්ලම නිසි ප්‍රතිකාර සහ උපදේශනය තුළින් ඉතාම හොඳින් විසඳාගත හැකි ප්‍රශ්න වන අතර මෙහිදී අවශ්‍ය වනුයේ නොපමාව වෛද්‍ය උපදෙස් වෙත ළඟාවීම පමණි. මේ නිසා කිසියම් අයෙකු මානසික ලෙස හිංසනයට පත්වෙනුනේ නම් ඔහුට හෝ ඇයට ඇතිවන මානසික ආතතිය නැතිනම් අවපීඩනය නැතිකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසාලීම මානසික සෞඛ්‍යට ගරුත්වයක් දක්වන අයෙකු විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි.
සාමාන්‍යයෙන් ඇතැම් මානසික ආතති තත්ත්වයන් ශාරීරික රෝගාබාධ ලෙස මතුවන්නට ඉඩ ඇත්තේ එය මාසික ව්‍යාකූලතාවයක් ලෙස මතු වූ අවස්ථාවේදී හඳුනානොගත් මෙන්ම ප්‍රතිකාරයක් නොලත් බැවින් වියහැකිය. මනසට දැනෙන්නා වූ යම් ව්‍යාකූල තත්ත්වයක් ශාරීරිකව දැනෙන්නේ ඇයිද යන්න මෙහිදී ඔබට යම් සැකයක් මතු විය හැකිය. සැබවින්ම ඔබ නොදන්නා නමුත් මනස සහ ශරීරය එකිනෙකා අතර ඇතිකරගන්නා අන්තර් සම්බන්ධතාවය එයට හේතුවයි. ඇතැම් මනස ව්‍යාකූල වූ අවස්ථාවක ඇතිවන සරල ශාරීරික තත්ත්වයක් වන හිසරදය පිළිබඳ මදක් විමසිලිමත් වෙන්න. හිසරදය අතිකරන වෙනත් රෝග තත්ත්වයක් හෝ හේතුවක් නොමැතිවම ඔබ කිසියම් ආකාරයකින් මනස ව්‍යාකූලවී සිටින අවස්ථාවක එය ශාරීරිකව හිසරදයක් ලෙසින් දැනීම තුළ ඔබ වඩාත් හොඳින් මේ තත්ත්වය තේරුම් ගනු ඇත. ඇතමුන්ට මේ ආකාරයෙන් නින්ද නොයෑම , සමහර වේදනා කැක්කුම් මෙන්ම ඇතැම් සුව නොවන ශාරීරික රෝග ආහාර අරුචිය වැනි හේතු ද මානසික තත්ත්වයන්ගේ වෙනස් වීම් නිසා මතු විය හැකිය.
සමහර ඉතා දක්ෂ ලෙස අධ්‍යාපනයේ යෙදුන දරුවන් හිටි හැටියේ කෑමබීම නොගෙන නාන්නට පිරිසුදු වෙන්නට උත්සහ නොකර , කිසිවෙකු සමග කතානොකර නිවසින් පිටත නොයා මුලු ගැන්වී සිටින අවස්ථාවන් හමුවෙන අතර දෙමාපියන් මෙවන් අවස්ථාවක් දුටුසැණින් මේ කිසියම් අයෙකු දරුවාට ගුරුකමක් විනයක් කර ඇතැයි සිතා විවිධ ශාන්තිකර්ම පසු පසද යන අවස්ථා තිබේ.මෙවන් අවස්ථාවක දරුවා මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ලබාදෙන ප්රතිකාරවලින් ඉතාමත් හොඳින් සුවපත් වී නැවත සුපුරුදු ලෙස දස්කම් අතරට එක්වන දරුවෝ විරල නැත. මෙය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන් වෙතින්ද විවිධාකාරයෙන් දැකගත හැකි තත්ත්වයන් වෙයි. ඇතමුන් මෙවන් විශාද තත්ත්වයන් හේතුවෙන් සිය දිවි නසාගන්නා අවස්ථාද පවතී.
මෙවන් අවස්ථාවක කිසිවෙකුගේ මානසික තත්ත්වයට ගැරහීම හෝ ඔහු හෝ ඇය පිස්සෙකු යැයි කියා අවමාන කිරීම උචිත නොවේ. කිසියම් අයෙකු වෙතින් හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් ඇතැයි හඳුනාගන්නට සමත් වූ අවස්ථාවක එයින් මිදී නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම සඳහා ඔහු හෝ ඇය ට අවශ්‍ය සහය ලබාදීම තුළ ඇති වූ ගැටලු ඉතා ඉක්මණින් අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමහර මානසික තත්ත්වයන් කිසිම අවස්ථාවක මානසික රෝග සේ නොපෙනෙන්නට ඉඩ තිබේ. නමුත් කිසියම් අවස්ථාවක සාමාන්‍ය යැයි පිළිගත නොහැකි සියුම් ලක්ෂණ හඳුනාගත හැකි නම් ඔවුන් වෙනදා කළ ක්‍රියාවන්වලින් ඈත් වී කලකිරුන ස්වරූපයෙන් පසුවන්නේ නම් තමන්ට අහිමි වූ දෙයක් හෝ කෙනෙක් ගැන අසීමිතව දිගින් දිගටම දුක්වෙමින් අඬමින් සහ තමන්ගේ සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව කටයුතු කරන්නේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් සේ නොසලකා ඒ සඳහා මනෝ වෛද්‍ය උපදෙස් හා සහය ඔවුන් වෙත ලබාදෙන්නට ක්‍රියාකළ යුතුය.
බොහෝ දෙනා සිතා සිටින්නේ මනෝ රෝග යැයි කියූ විට එය උමතු වි කෑ කෝ ගසමින් අන් අයට හිරිහැර කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමක් මතු වන්නක් බවයි. නමුත් එය උග්‍ර මානසික රෝගවල ලක්ෂණ මිස සෑම මනෝ රෝගයකදීම මතු වන පොදු ලක්ෂණයක් නොවේ. ඒ නිසා මනෝ රෝග සම්බන්ධයෙන් තම තමන්ට සිතන ආකාරයේ රෝග විනිශ්චයන් සිදු කිරීම, රෝගියාට කරන අසාධාරණයක් සේ සැලකීම ට අපට වගකීමක් තිබේ. ඔබ කිසියම් අවස්ථාවක පවුලේ අයෙකු ශාරීරිකව යම් රෝග ලක්ෂණයක් පෙන්වූ වහාම ඔහු හෝ ඇය අදාල රෝග ලක්ෂණය මතු කළ රෝගය සඳහා විශේෂඥතාවයක් ලත් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර ඔවන්ට ප්‍රතිකාර ලබාදෙන්නට උනන්දුවන්නාසේම රෝගියාගේ ඇවතුම් පැවතුම්වල ඇතිවෙන්නාවූ වෙනස දැක දැකත් ඒ පිළිබඳ ලැජ්ජාවට පත් වී එය සඟවා සිටීමට උත්සහ නොදරා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්න.
මනසින් සුවදායී වාතාවරණයක් ඇතිකර තම ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට සැමදෙනටම වගකීමක් තිබේ. කිසියම් කලා මාධ්‍යයක් රසවිඳිම, කිසියම් ක්‍රීඩාවක යෙදෙමින් සාමූහිකව තම ප්‍රියයන් හා සතුට බෙදාහදා ගැනීම. තම ආගම කුමක් වුවත් එයින් ජීවිතයේ යහපත පිණිස ගොඩ නැගී ඇති දෑ ඇසුරු කිරීම ඔබ ඔබේ පසුම්බිය පුරවා ගන්නට හැල්මේ දුවන්නාසේම සුවදායී මනසක් හිමිකර ගැනීමට අත්වැලකි. නොපමාවන්න සුවදායී මනසක් ඔබ ධනවතෙතු බව ඔබට සිහිපත්කරනු ඇත.