අප කිසිවෙකුත් දුක් විඳීමට හෝ රෝගීවීමට අකැමැතිය. එහෙයින් සැමවිටම නිදුකින් හා සතුටින් ජීවත්වන්නට උත්සහ දරන්නට යොමුවුවත් අප නොදැනීම අපේ ක්‍රියාවන් නිසා හෝ ජාන ගත බලපෑම නිසා පිළිකාවක් වැලඳීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් නොසැලකිලිමත් විය නොහැකිය. පිළිකාව සම්බන්ධයෙන් බොහෝ දෙනා සිතන්නට පෙළඹී ඇත්තේ මෙය නම් අන් කිසිවක් නොව මරණ වරෙන්තුවම බවයි. නමුත් පිළිකාව එසේ මරණය වෙත යොමුවූ මාවතක් නොවේ. කළින් හඳුනාගන්නට හැකියාව ලදහොත් සැමට ප්‍රතිකාර ලබා ගුණාත්මක ජීවන තත්ත්වයක් ඇතිකර ගැනීමේ හැකියාව ඇති තවත් එක් රෝගයකි. පිළිකාවක් වළක්වා ගන්නට මට මෙන්ම ඔබටත් ඔබට මෙන්ම අපටත් හැකියාව තිබේ. විශේෂයෙන්ම අප යනුවෙන් සඳහන් කරන විට, අප යනු අපේ පවුල මෙන්ම අප සමග වෙසෙන සැම යන අරුත සැලකීම වඩාත් උචිතවනුයේ අප පිළිකාවෙන් ගැලවෙන්නා සේම අපේම අයද එයින් ගලවාගැනීම පිණිස පිළිකා සඳහා හේතුකාරක සපයන හේතූන් මුලින් උදුරා දැමීමට අප එකාවන්ව කටයුතු කළ යුතු බැවිනි. එසේ එක්ව කටයුතු කිරීමෙන් අපට කළ හැකි දෑ බොහෝය. අද සෞඛ්‍ය පිටුව වෙන්වනුයේ ඒ සඳහා ඔබව බලගැන්වීමටයි.
පිළිකාවක් යනු සිරුරේ හිසේ සිට දෙපතුළ දක්වා ශරීරයේ ඕනෑම තැනක සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනයක් නිසා ඇතිවෙන රෝගී තත්ත්වයකි. එය ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකිවා පමණක් නොව අරමුණක් රහිතව ශරීරයේ පාලනයකින් තොරව සිදුවන අක්‍රමවත් සෛල වර්ධනයක් ලෙස හැඳින්විය හැකිය.
වාර්ථාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින් අතර අලුතින් හඳුනාගත් පළමු පිළිකා දහය ලෙස මුඛ පිළිකාව, පෙණහලු පිළිකාව, ගලනාල පිළිකාව, මහා අන්ත්‍ර හා ගුද මාර්ග පිළිකාව, වසා පද්ධතිය ආශ්රිත පිළිකාව, ස්වරාලයේ පිළිකාව, ලියුකීමියාව, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව, ප්‍රාථමික ඉන්ද්රිය හඳුනානොගත් පිළිකාව, මොළයේ පිළිකාව ලියුකීමියාව හැර ඇට මිදුලු ආශ්රිත අනෙක් පිළිකා , ආමාශ පිළිකාව ආදිය ප්‍රධානය. මේ හැරෙන්නට කාන්තාවක් වීම නිසාම කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන පිළිකා සම්බන්ධයෙන්ද දැනුවත්ව සිටිය යුතුමය . ඒ ගැබ්ගෙල පිළිකා මෙන්ම පියයුරු පිළිකාවයි පියයුරු පිළිකාව නම් සියයට එකක පමණ ප්‍රතිශතයක් පිරිමි පක්ෂයටද ඇති වියහැකි වග අමතක කළ යුතු නොවේ.
සාමාන්‍යයෙන් අප රටේ වසරකට රෝගීන් දස දහසක් පමණ මිය යන බව රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් පළකරනු ලබන මරණ වාර්ථාව සැලකූ විට සනාථ වෙයි. වඩා වැදගත්ම කරුණ වනුයේ මේවා අතරින් කීපයක් මරණ වළක්වා ගැනීමට හැකියාව පැවති පිළිකා වීමය. විශේෂයෙන්ම පිරිමි ඔබට මුඛ පිළිකා, පෙනහලු පිළිකා, ගලනාල පිළිකා , ආදිය සෑදෙන්නට ඉඩ නොතබා වළක්වාගත හැකිය.
දැන් මතුවන්නේ එසේ වළක්වා ගැනීමට ඔබ කුමක් කළ යුතුව තිබුණේද යන පැනයයි. යහපත් ජීවන රටාව ලෙස අප හඳුන්වන්නේ කෙබඳු ජීවන රටාවක්ද? ඇතමුන් විසින් යහපත් ජීවන රටාව යනු අධ්‍යාත්මික වශයෙන් පමණක් සිදුකෙරිය යුතු වත් පිළිවෙත් ලෙස සලකන්නට හැකිය. නැත. අධ්‍යාත්මික වශයෙන් ඇතිකරගන්නා යහ පුරුදු මෙන්ම භෞතික වශයෙන් ඇතිකරගන්නා යහ පුරුදුද අප විසින් අමතක නොකළ යුතු කරුණකි. විශේෂයෙන්ම අප භාවිතයට ගන්නා යම් යම් ද්‍රව්‍ය ගැන ගැටලුවක් අපට තිබේ. විශේෂයෙන්ම වළක්වාගත හැකි පිළිකාවලින් අඩක්ම දුම්කොළ හෝ දුම්කොළ ආශ්‍රිත්‍ර පිළිකා වශයෙන් හැඳින්විය හැකිය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඇති බහුලම පිළිකා වනුයේ මුඛ පිළිකාව, පෙණහලු පිළිකාව සහ ගලනාල පිළිකාවය. මේ තුනටම බලපානු ලබන්නේ එකම හේතුවකි. දුම්බීම යනු ඒකාන්ත වශයෙන්ම පිළිකාකාරක චර්යාවකි. තාර, නිකොටින්, කාබන් මොනොක්සයිඩ් වශයෙන් කොටස් තුනක් වූ විෂ සහිත සංඝටක අතර නිකොටින් යනු පිළිකාකාරකයක් වශයෙන් හඳුනාගෙන නොතිබුණද ඇබ්බැහිකාරකයක් වන බැවින් එය තව තවත් ඇබ්බැහිවීමට මග සලසයි. බොහෝවිට කාබන් මොනොක්සයිඩ් පිළිකා අවදානම පමණක් නොව රුධිරයේ ඔක්සිජන් ගෙනයෑමේ හැකියාව අඩුකරන බැවින් ඔබේ සිරුරේ රුධිර නාල පටුකරයි. මෙයින් හෘදයාබාධ මෙන්ම නහර සිහින්වීම නිසා අනෙකුත් ඉන්ද්‍රියන්ට ද බලපෑමක් ඇතිවෙයි. උදාහරණයක් වශයෙන් පාදවල ඇතිවෙන ස්කීමියා යන තත්ත්වය පෙන්වාදීමට හැකිය එවන් තත්ත්වයක් අතිවීම නිසා පාදවල යම් යම් කොටස් ඉවත්කිරීමට සිදුවිය හැකිය.
බොහෝ විට ඔබ විනෝදයක් යැයි සිතා මුලාවී දෙතොලතර රඳවා ගත් දුම්වැටිය ඔබේ දරුවන්ට බිරිඳට දෙමාපියන් ඇතුලු අනෙකුත් පවුලේ සාමාජිකයන්ටද යම් අවදානමක් කැඳවයි. විශේෂයෙන්ම ස්වසන මාර්ගය හා සම්බන්ධ පෙනහලු හා ස්වාසනාල පිළිකාව , මුඛ පිළිකා ග්රසණිකාවේ පිළිකාව, නාස් කුහරය ආශ්රිත පිළිකා, ආමාශයේ , මහාන්ත්‍රයේ, හා ගුද මාර්ගයේ පිළිකා වකුගඩු මුත්‍රාශ පිළිකා වැනි පිළිකා රැසකට හේතුකාරක වෙයි. මේ නිසා විශේෂයෙන්ම පිරිමි චර්යාවන් අතරට දුම්බීම යන වැරදි චර්යාව අයත් නැතැයි ඉවත් කළ හැකි නම් ඔබට යම් ආකාරයකින් ඇතිවීමට ඉඩ කඩ ඇති පිළිකා රැසක් එයින්ම වළක්වා ගැනිමට හැකියාව තිබේ.
කාන්තාව නැතිනම් මව ඔබේ දියණිය බිරිය පිළිකා රෝගවලින් ආරක්ෂිතද යන්න මොහොතක් විමසාබලන්න. දැන් දැන් කාන්තාවන්ට මත්පැන් පෙවීමේ අති විශාල මෙහෙයුමක් සියුම්ව ක්‍රියාත්මකව පවතින බව ඔබ අවබෝධකරගෙන සිටිනවාද? මේ හැරෙන්නට ඔබේ දරුවා එල්ලකරගත් මත්ද්‍රව්‍ය අඩංගු විවිධ නිෂ්පාදන පාසල අවටම සැරිසරන්නට පටන් ගෙන තිබෙන බව ඔබ දන්නවාද මේවායින් ඔබේ දරුවාත් ඔබේ බිරිය, දියණිය , පෙම්වතිය, ආදීන් ආරක්ෂා කරගන්නට ඒ නිෂ්පාදන වලින් ඔවුන් ආරක්ෂා කරන්නට ඔබ උත්සහගන්නේ නම් එයින් ඔබට ඔවුන් පිළිකා සඳහා ගොදුරුවීමට ඇති ඉඩකඩ අවම කරවන්නට හැකියාව උදාවනු ඇත. එමෙන්ම ඔබ ඇතැම්විට විනෝදයට මෙන් බුලත් විටක් සැපීම ඉතා හොඳ පුරුද්දකැයි සිතන අයෙක් විය හැකිය. ඔබේ වයසක පියාට මවට ඔබ වෙහෙස මයන්සියෙන් උපයන මුදලින් බුලත්විටක් ගෙනගොස් දී ඔබ පෙන්වන්නට උත්සහ දරන්නේ ඔබේ ආදරය හා ඔවුන් කෙරේ ඔබ තුළ පවතින ගෞරවය යැයි නොසිතන්න.
ඒ ඔබ ඔවුන්ට සපයා දෙන්නේ පිළිකාවට පරාජය වන මාවතයි. සුරුට්ටුව, සිගරැට්ටුව මෙන්ම බුලත්විට මුඛ පිළිකාවලට අතවනන ආසන්නම කාරණයකි. බුලත කෙසේ වෙතත් පුවක් ,හුනු සහ දුම් කොළ යනු අතිශයින්ම පිළිකා කරක ද්‍රව්‍යයන් බව අමතක නොකළ යුතුය. විශේෂයෙන් දුම්කොළ වගා කිරීමේදී ඒවාට යොදන කෘෂි රසායන වලද බොහෝ පිළිකාකාරක විෂ පවතින බැවින් එම විෂ වර්ගද එයින් ශරීරයට එක්වීමට ඉඩ තිබේ. පුවක් පෙති යනු භයානක සෙල්ලමක් බව මෙහිදී කිව හැකිය. ඔබේ නවයොවුන් දරුවා මේවා සමග මිතුරුවීම සෙල්ලමක් හෝ සරල කාරණයක් නොවේ.ඒවා සැපීමෙන් මුඛ ශ්ලේෂ්මල ෆ්රයිබෝසියාව යන රෝගය ඇතිවීමට ඉඩ කඩ තිබේ. නමුත් මෙහි ඇති කනගාටුදායකම සිද්ධිය මෙම රෝගය නිසා නැතිවි යන මුඛය විවෘතකිරීමේ හැකියාව නැවත කිසිදිනෙක පිළිසකර කරන්නට නොහැකිවීමය. අවසානයේ මුඛ පිළිකාවක් බවට පත්වී එය රෝගියාට මරු කැඳවයි. එහෙයින් පිරිමි කම යනු දුම්වැටියක, බුලත්විටක, මත් පැන් බෝතලයක, රැඳුනු සරල ගණයේ තත්ත්වයක් නොවේ. මේ හැරෙන්නට මත්වතුර සම්බන්ධයෙන්ද ඔබ නිවැරදි ලෙස දැනුම්වත්වීම වැදගත්ය. සාමාන්‍යයෙන් විනෝදයක් හෝ ආශ්වාදයක් යැයි සිතන මත් වතුරේ ඇත්ත කතාව මෙයයි. මත්වතුර මගින් අක්මාවේ, මුඛ කුහරයේ, ග්රසණිකාවේ, ගලනාලයේ, ආමාශයේ, සහ පියයුරුවල පිළිකා ඇතිකරයි. මත්වතුරේ ඇති එතනෝල් පරිවෘත්තී ක්‍රියාවලියේදී ඇතිවන, &ඇසිටැල්ඩිහයිඩ්* පිළිකාකාරකයකි. එයින් අක්මාවේ පිළිකා ඇතිකිරීමට හැකි අතර වෙනත් පිළිකාකාරක රසායන ද්‍රව්‍ය මත්වතුර සමග ආහාර මාර්ගයට පිවිසුන විට ආහාර මාර්ගයේදී ඒවා අවශෝෂණය පහසුකරයි. ඒ අනුව මත්වතුර පිළිකා ඇතිකරන ප්‍රධාන සාධකයක් බව වටහාගන්නට ඔබට පහසුවෙනු ඇත. මත්වතුර නිසා සිදුවන තවත් එක් හේතුවකි ෆෝලේට අවශේෂණය නැවැත්වීම. ආහාරයේ ඇති ෆෝලේට මෙසේ උරාගැනීම වැළැක්වීමෙන් වක්‍රාකාරව පිළිකා ඇතිකරන්නට උපකාර සපයයි. මත්වතුර මගින් ඊස්ටජන් හෝර්මෝනය ඉහළ නංවන අතර ඊස්ට්‍රජන් සංවේදී හෝර්මෝනයක්වන පියයුරු පිළිකා ඇතිකිරීමට එය බලපානු ලබයි.
බොහෝ දෙනෙකු සිතා සිටින්නේ පියයුරු පිළිකා කාන්තාවන්ට පමණක් ඇතිවන පිළිකාවක් ලෙසයි. නැත මත්පැනට ෙලාල්වන කාන්තාවන්ටද පිරිමින්ටද පියයුරු පිළිකා අවදානමක් ඇත. බොහෝ විට මත්වතුර මගින් ඇතිකරනු ලබන හෝර්මෝන විපර්යාසය මගින් එවන් තත්ත්වයක් වුවද ඇතිකරවීමේ හැකියාව පවතී. එපමණක් නොව ආහාර මගිනුත් ඔබේ පිළිකා අවධානම ඉහළ නැංවිය හැකි බව ඔබ දන්නවාද? සෞඛ්‍යමත් නොවන ආහාර මගින් ඇතිවන ප්‍රධාන පිළිකා මුඛ පිළිකාව, ගලනාල පිළිකාව, ආමාශ පිළිකාව, මහාන්ත්‍ර සහ ගුද පිළිකාව ලෙස නම් කළ හැකිය. ඔබද මාංශ ආහාර සීමාකර හැකි තාක් ශාක ආහාර වෙත නැඹුරුවන්නේ නම් පිළිකා අවදානම යම් තරමකින් අඩුකර ගත හැකි බව පැවසිය හැකිය.ශාක ආහාරවල අඩංගු කෙඳි මාර්ගයෙන් ආහාර මාර්ගයේ ක්‍රියාකාරිත්වය පහසුකරවා මළබද්ධය වළකයි. එම නිසා ආහාරයේ පැවතිය හැකි පිළිකා කාරක ද්‍රව්‍ය අවශෝෂණයට අවස්ථාවක් නොලැබී කෙඳිමය කොටස් මගින් තෙල්වර්ග සිරුරට උරා ගැනීම අඩුකරයි. මහාන්ත්‍රයේ හිතකර බැක්ටීරියා වර්ධනයද පහසුකරයි අක්මාවේ නිපදවෙන පිතේ ඇති සමහර සංයෝග මහබඩවැලේ පිළිකා ඇතිකිරීමට හැකියාවක් ඇතිකරයි. ආහාරයේ කෙඳි මගින් අක්මාවේ පිත නිපදවීම අඩුකරන අතර මහා අන්ත්‍ර පිළිකා අවදානම අඩුකරනු ඇත. අධික ශක්තිය සහිත සීනි වැඩි ආහාර අවම කිරීම, ලුණු අවම කිරීම, රතුමස් වර්ග භාවිතාව අඩුකිරීම, ධාන්‍යවර්ග, පියළි සහ ඇට වර්ග නිසි පරිදි කල් තබාගැනීම, පෝෂණ අවශ්‍යතා හැමවිටම ආහාර මගින් ම ලබාගැනීම, වෙලාවට ආහාර ගැනීම. ඉතා උණුවෙන් ආහාර නොගැනීම. වර්ණක සහ රසකාරක අවම ආහාර වර්ග භාවිතාව පළිබෝධ නාශක අවම ආහාර වර්ග භාවිතය ගැන ඔබේ විශේෂ අවධානය යොමු කරන්න. එමගින් පිළිකා ඇතිවීමට බලපානු ලබන පිළිකාකාරක ඔබේ සිරුට ඇතුලුවීම වළක්වා ගත හැකිය. සැක කටයුතු යම් ලක්ෂණයක් මතුවූ වහාම පරීක්ෂාවට ලක්වෙන්න. පිළිකාවක පෙර ලකුණු යැයි හඳුනාගතහොත් දැන් සැමටම ප්‍රතිකාර ලැබීමේ හැකියාව තිබේ. ඒ තුළින් ඔබට ගුණාත්මක ජීවන තත්ත්වයක් ඇතිකරගන්නට හැකියාව තිබේ. පිළිකාවට එරෙහිව සටන්වැද ජය ලැබීමට අපට කළ හැකි දෑ බොහෝ බව කිසිවිටක අමතක නොකරන්න.