පියකරැ මුහුණක් ලස්සන හිනාවක් වෙනුවෙන් අපි කවුරැත් වෙහෙසෙන්නේ මුහුණ යනු පළමු දැක්මෙන්ම අන් අයගේ අවධානය දිනාගන්නා අප ශරීරයේ ප්‍රභල කොටසක් බව ඒකාන්ත වශයෙන්ම අප දන්නා නිසයි. නමුත් අවාසනාවකට මෙන් ඇතැම් අවස්ථාවල උපතේදී සිදුවන යම් යම් අඩුපාඩු මෙන්ම අවහිරතා මෙන්ම පසුකාලීනව ඇතිවන යම් යම් රෝගාබාධ , හදිසි අනතුරැ ආදිය හේතුවෙන් ඒ මුහුණේ සුන්දරත්වයට බාධා කරන යම් ආපදාවන් ඇතිවෙන්නට පුලුවන්. නමුත් එය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කලබල වෙන්නේ මේවා නිවැරදි කරගන්න මගක් නැතැයි සිතන නිසා මෙන්ම මේවා ලංකාවේ ප්‍රධාන රෝහල්වල නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ සිදුකෙරෙන ක්රියාවලියේම කොටසක් බව නොදන්නා නිසයි.
මෙවැනි කාර්යන් සඳහා තමන් හමුවිය යුත්තේ කවුරැන්ද යන වග නොදන්නා අය ප්‍රතිකාර මග හැර මුලු ගැන්වී ජීවත්වෙන්න උවමනාවක් නැති බව පළමුව ඔබ දැන සිටිය යුතුයි. මුඛ හණුක සහ වක්ත්‍ර ශල්‍ය අංශය ඔබට මෙවැනි ගැටලු ඉතාම සාර්ථකව විසඳා දෙන බව ඔබට අලුත් ආරංචියක් වුණත් මෙවැනි ප්‍රතිකාර දන්ත සේවාවන් ඇති බොහෝ ප්‍රධාන රෝහල්වලින් අදත් සිදුකෙරෙන බව නම් පරණ කතාවක්. මුඛ හණුක හා වක්ත්‍ර ශල්‍ය වෛද්‍යවරැන්ගේ දිනය යෙදී තිබුණේ ඊයේ ( පෙබරවාරි මස 13 ) දිනයටයි. මේ ඒ වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේ ඇති වූ කතාබහ පදනම්ව සැකසුන ලිපියකි.
සඳවන් මුහුණක් යැයි අප මුහුණ සඳට උපමාකරද්දී එයින් මුහුණේ හැඩය සම්බන්ධයෙන්ද යම් ඉඟියක් පළකරන බව ඔබ දන්නවා. නමුත් හැමවිටම හැම කෙනෙකුගේම මුහුණ සඳක හැඩය නොගන්නා අතර එහි ඇතැම් විටක යම් යම් වෙනස් හැඩයන් මතුවෙන්නට හැකියි. එසේ සිදුවෙනුයේ මුහුණ මුඛය හා හණු ඒ ආශ්රිත ආබාධ සැළකිය යුතු තරම් කායික දුබලතා ඇතිකරන අතර ඒවා මුහුණේ භාහිර පෙනුමටද සැලකිය යුතු තරමේ බලපෑමක් ඇතිකරන බැවිණි. එයින් එම පුද්ගලයාට සමාජීය හා මානසිකමය වශයෙන් ඇතිකරන්නා වූ බලපෑම එහිදී නොසලකා සිටිය හැකි අන්දමේ සුලු එකක් නොවනු ඇත.
බොහෝ විට එවැනි ආබාධයක් මුහුණ හණු සහ මුඛය ආශ්‍රිතව පවතින විට කෙනෙකුට ඇතිවන ශාරීරිකව දැනෙන ආබාධ තත්ත්වයන් ලෙස මුඛය විවෘත කිරීමේ අපහසුව, හුස්ම ගැනීමට ඇති අපහසුව මෙන්ම දෘෂ්ටිමය වශයෙන් දැක්වෙන ආබාධයක් වූ ප්‍රතිබිම්බ දෙකක් පෙනීම ආදි තත්ත්වයන් දැක්විය හැකිය. මෙවන් තත්ත්වක් ඇතිවිට පැරුන්නෝ එය කර්ම ශක්තිය මත පැටවූවත් දැන් නවීන විද්‍යාවේ පිහිටෙන් එය වහා නිවැරදි කරගත හැකි හෙයින් තව දුරටත් කර්ම ශක්තිය මත පදනම්ව ඇති වූ තත්ත්වයන් විඳ දරාගෙන ජීවත්විය යුතු නොවේ.
ප්‍රධාන වශයෙන්ම මෙවැනි ආබාධ කොටස් දෙකකට වර්ග කළ හැකි අතර එයින් පළමුවැන්න වනුයේ උපතින් එන ආබාධයි. දෙවැන්න පසුව ඇතිවන ආබාධ ලෙස හඳුනාගනිමු.
මෙයින් අප පළමුව උපතින් ඇතිවන ආබාධ හඳුනාගෙන සිටිමු. මුහුණ හා ඒ අවට ඇතිවන උපත් ආබාධ වශයෙන් වඩාත් අප දැක හුරැ පුරැදු වනුයේ විදලිත තල්ල බිඳුනු තොල ආදි තත්ත්වයන්ය. ඇතැම් විට බිඳුණු තොල සහ තල්ලේ ආබාධ වෙන් වෙන් වශයෙන් පමණක් නොව එකතුවක් ලෙස පිහිටන අවස්ථාද දැකිය හැකිය. දෙතොල යනු උඩු තොළ යටි තොල වශයෙන් බෙදීමක් ඇති එකකි. එසේ නම් මේ පවසන්නේ කෙබඳු බෙදීමක් ගැනද යන්න ඔබට යම් කුකුසක් මතුවන්නට ඉඩ තිබේ. බිඳුණු තොල යන්නෙන් අප මෙහිදී හඳුන්වන්නේ තොලෙහි හෝ මුඛයෙහි උඩු තල්ලේ බෙදීමක් ඇතිවීමයි.
මෙවැනි තත්ත්වයක් ඇතිවන්නට තුඩුදෙනු ලබන්නේ කුමන හේතුවක්ද යන්න විමසා බැලුවහොත් මෙය සිදුවන්නේ දරැවෙකු මවු කුස තුළ වැඩෙන අවදියේමය. දරු කළලය ගර්භාෂය තුළ වැඩෙන අවදියේ මුහුන ප්‍රදේශය සෑදෙනුයේ මලක පෙති වැනි කුඩා කොටස් එකතුවීමෙනි. මෙවැනි කුඩා කොටස් එකට එකතුවීමේදී හරි හැටි එක් නොවීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් සහිත දරැවෙකු උපදී. මෙවැනි දරැ උපත් බටහිර රටවල්වල එතරම් බහුල නොවුණ නමුත් ආසියාතික රටවල මෙය බටහිර රටවලට සාපේක්ෂව වැඩි බවක් දැකිය හැකිය. එය දරැ උපත් නවසීයක් අතරින් එකක් ලෙස සැළකිය හැකිය. මෙසේවීමට බලපානු ලබන හේතු එක එල්ලේම අසවල් හේතුව යැයි පැවසිය නොහැකි වුවත් ඒ සඳහා ජාන බලපෑම හා පාරිසරික සාධක හේතුවේ යැයි සොයාගෙන ඇත.
ජාන බලපැම කෙසේ සිදුවන්නේද යන්න තව දුරටත් විමසා බැලීමේදී මව හෝ පියා එවන් තත්ත්වයකට මුහුණ දී සිටියි නම් ඔවුන්ට 1:20 සම්භාවිතාවක් මෙවන් දරැවෙකු ඉපදීම කෙරෙහි පවතී.එසේම සාමාන්‍ය යුවළකට පළමු දරැ උපත මෙම අසාමාන්‍ය තත්ත්වයේ පවතී නම් දෙවැනි දරැ උපත සඳහා1:40 සම්භාවිතාවක් පවතී.
එමෙන්ම පාරිසරික බලපෑම සම්බන්ධයෙන් යම් දැනුම්වත්බවක් ලද හොත් ඇතැම් ඒවා මවකට පාලනය කළ හැකි හේතු බව වටහා ගනු ඇත. ඒ දුම්පානය සහ මධ්‍යසාර භාවිතාව වැනි කාරණාය. දරැවෙකු ලබන්නට සූදානම්වෙන කාන්තාවක් කිසිදිනෙක දුම් පානය හෝ මත් පැන් පානය නොකළ යුතුවන්නේ එය දරැවාට අති විශාල බලපෑම් රුසක්ම ඇතිකරන්නට සමත් වන බැවිනි. මේ හැරෙන්නට මව භාවිත කරන ඇතැම් ඖෂධ ගර්භිණී සමයේ මවට ඇතිවෙන වෛරස් ආසාදන ආදිය හේතුවෙන් හා කළලය වැඩෙන පරිසරය වෙනස් වීමෙන් මෙම තත්ත්වය හට ගැනීමට හැකියාව පවතී.
මෙයින් දරැවාට ඇතිවිය හැක්කේ පෙනුමේ පවතින ආබාධය යැයි ඔබ සිතුවත් එයින් දරැවාට තවත් ආබාධයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.ඒ දරැවාගේ පෝෂණයට බලපෑමයි. මුල් යුගයේ දරැවෙකු පෝෂණය වනුයේ මවුකිරෙනි. නමුත් මෙවන් තත්ත්වයක් ඇති විට දරැවෙකු කිරි උරා බීමට තොල හා තල්ල භාවිත කරමින් මුඛය තුළ රික්තයක් ඇතිකර ගනියි. බිඳුණු තොල හා තල්ල පවතින දරැවෙකුට සාර්ථකව කිරි උරා බීමේ හැකියාවක් නොවන්නට පුලුවන. මේ උපතින් ඇතිවන තත්ත්වයන් අතරින් එක් කරැණකි. ඇතැම් දරැවන්ගේ හණුවේ පිහිටීමේ අසාමාන්‍යතා බොහෝ විට මුහුණේ ඉදිරි කොටසේ ඉදිරියට නෙරා ඒමක් ලෙස අසාමාන්‍ය අයුරින් දිස්වන සේ පිහිටිය හැකිය.
එවැනි අවස්ථා හැරැණු විට දත්වල පිහිටීමේ අසාමාන්‍යතාද මේ අයුරින් හණුවේ පිහිටීම අනුව වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබේ. මුඛ හණූක ශල්‍ය අංශය වෙත පසුව ඇතිවන ආබාධ තත්ත්වයන් නිවැරදි කිරීම් වශයෙන් බහුලව හමුවනුයේ හදිසි අනතුරැ ආදිය නිසා ඇතිවන අස්ථි බිඳීම් හේතුවෙන් ඇතිවන විකෘතිතා නිවැරදි කිරීමි මෙන්ම මුඛ පිළිකා හේතුවෙන් ඇතිවන විකෘතිතා යළිත් ප්‍රකෘති කිරීම් යැයි පැවසුවහොත් එහි එතරම් වරදක් නොවේ. නමුත් මුහුණේ හැඩය සැකසීම ආදී ප්‍රතිකාර කිසියම් අනතුරක් ඇතිවීමෙන් වූ අවස්ථාවක ඒ සඳහා ප්‍රතිකාර නොකර අත්හැර දැමීමක් නොමැති අතර මේවන විටත් රජයේ රෝහල්වල මෙම ශල්‍ය අංශය පවතින බැවින් ඒ සියලු ප්‍රතිකාර ක්‍රමවේදයන් නිදහස් සේඛය සේවාව යටතේම සිදු කරනු ඇත.
මුඛ පිළිකා තත්වයන්වලදී හනුව ආශ්රතව ඇතිවන ආබාධයන් නිවැරදි කරමින් රෝගියාට එයින් සිදුවන අපහසුතා අවම කරන්නට කටයුතු කරන මුඛ හණුක හා වක්ත්‍ර ශල්‍ය අංශය ඉදිරියට නෙරා ආ හණුව හේතුවෙන් බොල්ලෑ බවක් දක්වන දත් දෙපල නැවත නිවැරදි ලෙස සකස් කරවීමට ද අවශ්‍ය ශල්‍ය ප්‍රතිකාර සිදුකරනු ලබයි. මේ වන විට කොළඹ නව දන්ත රෝහල, පරණ රෝහල පිහිටා තිබූ ස්ථානයේම විවෘතව පවතින අතර දැන් එය සවස් වරැවේද විවෘතව පවතින බැවින් දන්ත ප්‍රතිකාර හා මෙවන් ගැටලු සම්බන්ධයෙන් පාන්දරම රෝහලට පැමිණීමේ අවශ්‍යතාවයක් නොවන අතර පෙරමෙන් අධික කාලයක් පොරොත්තු ලේඛණයේ රුඳී සිටීමද සිදු නොවන බැවින් ඔබට වඩාත් පහසුවෙන් විසඳාගත හැකිවනු ඇත.
කොළඹ දන්තායනතය හැරැණු විට දිවයිනේ මුඛ හණුක ශල්‍ය අංශ පවතින අනෙකුත් රෝහල් මෙසේය. යාපනය, වව්නියාව, හලාවත , ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර පොළොන්නරැව, කුරැණෑගල, කෑගල්ල, රාගම, ගම්පහ,මාතලේ , නුවර, නුවරඑළිය, අනුරාධපුර, මීගමුව , මාතර,කරාපිටිය, හම්බන්තොට, අවිස්සාවේල්ල, කළුබෝවිල, කුලියාපිටිය, රත්නපුර, පානදුර, කළුතර, බදුල්ල, පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහල, (ශික්ෂණ) යන රෝහල් වේ. මුඛ හණුක සහ වක්ත්‍ර ශල්‍ය අංශය හා අදාල ඔබේ ගැටලු මේ රෝහල් වෙත පැමිණීමෙන් විසඳාගත හැකි බව ඔබේ මතකයේ තබාගන්න.