පිටගැස්ම හැදෙනවා කිවුවම මේ කියන්නේ දරුණු සංකූලතාවක් ඇතිවෙන්න පුලුවන් රෝග තත්ත්වයක් බව බොහෝ දෙනෙකු දන්නවා. ඒත් පිටගැස්ම සඳහා අවදානමක් ඇති වෙන්නේ කෙෙහාමද කියන එන ගැන නම් බොහෝ දෙනෙකුගේ එතරම් සැලකිල්ලක් නැහැ පිටගැස්ම ගැන අද ඒ තරම් අහන්න නොලැබෙන්නේ ප්‍රතිශක්තිකරණය ඒ සඳහා ලද පිරිස වැඩි නිසා බව ඇත්ත. නමුත් පිටගැස්ම සඳහා තමන් ලද ප්‍රතිශක්තිය කොතරම් කාලයක් වලංගුද යන්න අවබෝධයක් නොතිබුණොත් ඇතැම් විට මේ වගේ තත්ත්වයක් මතුවන්නට හේතුකාරක වන පසුබිමකදී ඔබ කිසියම් අවදානමකට ලක්වන්නට ඇති ඉඩ කඩ බොහෝයි. මේ නිසා අද සෞඛ්‍ය පිටුවෙන් අපි සාකච්චාවට බඳුන් කරනුයේ මේ කාරණයයි.
පිටගැස්ම ඕනෑම වයස් කාණ්ඩයකට අයත් පුද්ගලයෙක්ට ඇති විය හැකි රෝග තත්ත්වයක් යැයි පැවසුවහොත් එහි කිසිදු අසත්‍යයක් නොමැත. ලෝකයේ අනෙකුත් රටවල්වලද පිටගැස්ම රෝගය පිළිබඳ වාර්ථා වන අතර බොහෝ විට නව ජන්ම පිටගැස්ම නැති නම් දරුවෙකු උපන් අවස්ථාවේදී ඇතිවන පිටගැස්ම මෙන්ම දරු ප්‍රසූතියේදී ඇති විය හැකි පිටගැස්ම තත්ත්වයන් සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක නොකරන රටවල ඉතා බහුල වන අතර වාසනාවකට මෙන් අප රටේ සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් තුරන් වෙමින් පවතින තත්ත්වයකි. මෙයට හේතුකාරක සපයන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි නැමති බැක්ටීරියාවයි. මෙම බැක්ටීරියාව ආසාදනය වී වර්ධනය වනුයේ ඹක්සිජන් සාන්ද්‍රණය අඩු තත්ත්වයක් යටතේය. අපවිත්‍ර තුවාලවල මෙම බැක්ටීරියාව වර්ධනය වීමට හිතකර සාධක පවතින බැවින් ඒවා තුළ වර්ධනය වන මෙම බැක්ටීරියාව ස්නායුවලට අහිතකර විෂ වර්ගයක් නිපදවනු ලබයි.
දැන් අප විමසා බැලිය යුත්තේ මේ බැක්ටීරියාව කෙසේ මිනිස් සිරුර තුළට ඇතුලුවෙන්නේද යන්නයි. මේ බැක්ටීරියාව ඔබට ඇතුලු වෙන්නේ ආහාර මගින් නොවේ. සමේ ඇති වුණ කිසිම් තුවාලයකට සතුන්ගේ හෝ මනුෂ්‍යයන්ගේ මළපහ ඇතුලු වීම මගින් මෙම බැක්ටීරියාව මිනිස් සිරුර තුළට ඇතුලු වෙයි. මෙසේ මෙම බැක්ටීරියාව ඇතුලු වී රෝග ලක්ෂණ මතුවීමට ගතකරන කාලය දින තුන සිට දින විසි එකක් පමණ විය හැකි අතර සමහර විට දින හතක් පමණ වන විට රෝග ලක්ෂණ මතුකරවිය හැකිය. මෙහිදී අලුත උපන් දරුවාට ටෙටනස් විෂ බීජ ඇතුලු වෙන්නේ කෙසේදැයි ඔබට පැණයක් මතුවෙන්නට පුලුවන. එය සිදුවනුයේ දරුවා ඉපදෙන අවස්ථාවේ ජීවාණුහරණය නොකළ උපකරණ මගින් පෙකණි වැල කැපීම නිසා හෝ පෙකණි වැල ටෙටනස් බැක්ටීරියා ආසාදිත ද්‍රව්‍ය වලින් ආවරණය කිරීමෙනි.
නවජන්ම පිටගැස්ම රෝගයේ රෝග ලක්ෂණ මතුකිරීමට ගතකරන කාලය සාමාන්‍යයෙන් දින හයක් පමණ වන අතර ඇතැම් විට දින තුන සිට විස්ස දක්වා කාලයක් යැයි පැවසීමට පුලුවන.මෙම රෝගය ඇති වුණ විට මුලින්ම මුහුණ හා බෙල්ල ආශ්රිත මස් පිඬුවල වේදනාකාරී දරදඬුවීම් ඇතිකරයි. උදරයේ මාශ පේෂින්ගේ ඇතිවන දරදඬුවීම් ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. අලුත උපන් දරුවා පිටගැස්මට ගොදුරු වූ විට මතුකරන ලක්ෂණ මෙසේ විය හැකිය. බොහෝ විට දරුවා ඉපදී දින තුනත් දාහතරත් අතර කාලය තුළදී කිරි උරා බීම අපහසු වීම අත පය හා මුහුණේ මාංශ පේශින් දරදඬුවීම, අධික ලෙස හැඬීම, වලිප්පුව හා මාංශ පේෂින් ගැස්ම යන රෝග ලක්ෂණ වැදගත්ය.
කෙසේ නමුත් පිටගැස්ම රෝගීන්ට ප්‍රතිදේහ- ප්රතිදූලක අන්තඃ පේෂීය එන්නතක් ලෙස ලබා දිය යුතුය. මීට අමතරව Metranidazole නම් ප්‍රතිජීවකය අධික මාත්‍රාවෙන් දින හත සිට දාහතර දක්වා ලබා දිය යුතු අතර අදාල තුවාලය හොඳින් පිරිසුදු කළ යුතුය. පිටගැස්ම රෝගය වැලඳෙන අවස්ථාව වන විට වයසට අනුරූප ප්‍රතිශක්තිකරණයට අනුව පිටගැස්ම එන්නත නිසි පරිදි ලබානොගෙන සිටින පුද්ගලයින්ට පිටගැස්ම එන්නතද පිටගැස්ම ප්‍රතිදේහ ධූලකාභ සමග ලබාදිය යුතුය. පිට ගැස්ම එන්නත ලබාදීම සඳහා වෙනමම සිරින්ජරයක් යොදාගත යුතු අතර එය ශරීරයේ වෙනත් ස්ථානයකට ලබාදිය යුතු වෙයි.
ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පිටගැස්ම පංච සංයුජ එන්නත ලෙස ත්‍රිත්ව එන්නත , ද්විත්ව එන්නත හා වැඩිහිටි පිටගැස්ම ඩිප්තීරියා, සහ තනි පිටගැස්ම එන්නත ලෙස පහත ආකාරයට ලබාදෙයි.
ත්‍රිත්ව හෝ පංච සංයුජ එන්නත ලෙස 1 වන , 2 වන , 3 වන මාත්‍රාවෙන් පිළිවෙළින් මාස 2,4, 6 සම්පූර්ණ වන විට.
ත්‍රිත්ව එන්නත හතරවන මාත්‍රාව මාස 18 සම්පූර්ණ වන විට
DT එන්නත අවු 5 සමපූර්ණ වන විට
aTd අවුරුදු දොළහා සම්පූර්ණ වන විට
ගර්භිණී සමයේ දී තනි පිටගැස්ම එන්නත ලෙස
ප්‍රථම දරු ප්‍රසූතියේදී ගර්භිණි මතාවකට අවම වශයෙන් දරු ප්‍රසූතියට සති දෙකකටවත් ප්‍රථම පිටගැස්ම එන්නතින් මාත්‍රා දෙකක් ලබා දිය යුතුය. ප්‍රථම මාත්‍රාව ලබා දිය යුතු වෙන්නේ ගර්භයට සති දොළහක් සම්පූර්ණ වූ විටය. මාත්‍රාවන් දෙකක් අතර සති 6 සිට 8 දක්වා කාල පරාසයක් තිබිය යුතුය.ඉන් පසු සිදුවන ගැබ් ගැනීම් වලදී එක ගර්භීණී සමයකදී එක පිටගැස්ම එන්නත් මාත්‍රාවක් බැගින් ලබාදෙන අතර උපරිම මාත්‍රා ගණන 5 ක් වන තෙක් පිටගැස්ම එන්නත ලබාදෙනු ලබයි. යම් ගර්භීණී කාන්තාවක් පිටගැස්ම එන්නත් හයක් ලබාගෙන ඇත්නම් සහ පසුගිය අවුරුදු දහය ඇතුළත අවසන් මාත්‍රාව ලබාගෙන ඇත්නම් මෙම ගර්භීණී අවස්ථාවේ නැවත පිටගැස්ම එන්නත ලබාදීම අවශ්‍ය වන්නේ නැත. නමුත් හයවැනි පිටගැස්ම එන්නත් මාත්‍රාව ලබා දී ඇත්තේ අවුරුදු 10 කට වැඩි කාලයක ට පෙර සිට නම් මෙම ගර්භීණී බාවයේදී පිටගැස්ම එන්නත එක් මාත්‍රාවක් ලබා දිය යුතුය.
නමුත් මීට පෙර පිටගැස්ම එන්නත ලබාගෙන නැති අය සම්බන්ධයෙන් කතාකරන විට මොවුන්ට පිටගැස්ම රෝගයෙන් වැළකීම සඳහා එන්නත් ලබාදිය යුතු අතර පළවන සහ දෙවැනි එන්නත් මාත්‍රා අතර සති 4 ක කාල පරාසයක් තිබිය යුතුය. තුන්වන මාත්‍රාව දෙවැනි එන්නත ලබා දී මාස 6 කට පසුව දිය යුතුය. තුන් වැනි මාත්‍රාවෙන් අවුරුදු පහකට පසුව 4 වැනි මාත්‍රාව ලබා දිය යුතුය. හතර වැනි මාත්‍රාවෙන් අවුරුදු දහයකට පසුව පස්වැනි මාත්‍රාව ලබා දිය යුතුය. ඉහත සඳහන් පරිදි නියම කාලසීමාවේදී පිටගැස්ම එන්නත ලබා ගැනීමෙන් බොහෝ කල් ඇතැම් විට ජීවිතාන්තය දක්වා පිටගැස්ම රෝගයෙන් ආරක්ෂා වීම සිදුවෙයි.