කිසියම් අවස්ථාවක ස්වභාවික ස්වරූපයේ මතුවන කිසියම් අස්වාභාවිකත්වයක් ස්වභාවික ස්වරූපයට හා ක්‍රියාකාරිත්වයට පත්කරගන්නට හෝ ස්වභාවික ස්වරූපයේ පවතින අඩුපාඩුවක් වඩාත් අලංකාරව ඉස්මතුවන සේ භාහිර පෙනුම සකස් කිරීමක් සඳහා අවශ්‍යතාවයක් ඇතිවූ විටෙක කෙනෙකුට නිතැතින්ම මතක් වනුයේ ප්ලාස්ටික් සැත්කම් එසේත් නැතිනම් කොස්මැටික් සර්ජරි නම් වූ (ශල්‍ය වෛද්‍ය විද්‍යාවේම කොටසක් වූ) මේ සුවිශේෂ සැත්කම් විය හැකිය.
දැන් දැන් රූපයේ භාහිර අලංකරණය වැඩි දියුණු කර ගැනීම සඳහා පමණක් වෛද්‍යමය හේතුවක් නොමැතිව මේ අංශය වෙත යොමුවන පිරිස් වැඩිවෙමින් පවතින අතර ඔවුන් අතරින් සමහරෙක් විධිමත් ප්‍රතිකාර වෙතද, තවත් සමහරෙක් අවිධිමත් ප්‍රතිකාර වෙතද යොමුවෙමින් සිටී.
මේ අනුව මේ සම්බන්ධයෙන් දැනුම්වත්වීම කාලීන අවශ්‍යතාවයක්ව පවතින බැවින් අද සෞඛ්‍ය පිටුව තුළින් මේ කාරණය පිළිබඳ පුළුල් විග්රහයක යෙදෙන්නට අප අදහස් කළෙමු. ප්ලාස්ටික් යන නම මේ සඳහා භාවිතා කළ නමුත් මෙයට ප්ලාස්ටික් යන ද්‍රව්‍ය යේ සම්බන්ධතාවයක් පවතින්නේද නැද්ද යන්න මේ ලිපිය ඔබට බොහෝ කරුණු අනාවරණය කරනු ඇත.
ප්ලාස්ටික් සර්ජරි කීවත් සැබවින්ම එය ප්ලාස්ටික් යොදාගෙන කරන ශල්‍යකර්මයක් නොවන බව මුලින්ම ඔබ දැන සිටිය යුතු කරුණක්. ’ප්ලාස්ටිකස්’ යන ග්‍රීක වචනය අනුව ප්ලාස්ටික් යනුවෙන් සඳහන් කළත් ප්ලාස්ටික් යොදාගැනීමක් නොමැති අතර ග්‍රීක වචනය අනුව මෙහි අරුත ,ස්වරූපය සහ ක්‍රියාකාරිත්වය ගොඩ නගන ශල්‍ය විද්‍යාව යන්නයි.
සැබවින්ම මේවන විට මිලියන විස්සක් පමණ වූ ජනතාව වෙනුවෙන් ප්‍රතිකාර සැලසීම සඳහා අප රටට සිටින්නේ සුදුසුකම් ලත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් දා හතර දෙනෙකු පමණි. එය සඳහන් කිරීම සම්බන්ධයෙන් අප වඩාත් අවදානයක් දැක්වූයේ සුදුසු කම් නොලත් ඇතැම් විශේෂඥ යැයි කියාගන්නා පුද්ගලයින්ද ප්ලාස්ටික් සැත්කම් හෝ ඒ සම්බන්ධ ප්‍රතිකාර ක්රමයන් සිදුකරනා බවට යම් ඉඟි පළකරමින් හෝ දැන්වීම් පළකරමින් සේවා ලාභීන් නොමග යැවීමක් සිදුකරන බවක් පෙනෙන්නට ඇති බැවිණි.
මේ පුද්ගලයන් නිසා සිදුකරගන්නට උත්සහ දැරූ කාරියන් වැරදී නැවතත් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ම සොයා පැමිණෙන්නන් වැඩිවීමට බලපා ඇති හේතුව එයයි. ඔබට කිසියම් ආකාරයකින් එවන් වෛද්‍යවරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනුවත්බවක් ලබාගන්නට අවැසි නම් එය අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගත හැකිය. මන්ද එම වරලත් වෛද්‍ය විශේෂඥයින් දාහතරදෙනා හැර වෙනත් අයෙකු අප රට තුළ මෙම ප්‍රතිකාර ලබාදෙන්නට සුදුසුකම් ලබා නොසිටින බැවිණි.
ඇතැම් ශල්‍ය කර්ම සිදුකරන්නට අවශ්‍යවනුයේ උපතින් ඇති වූ ආබාධ, කිසියම් රෝග තත්ත්වයක් නිසා අති වූ වෙනස් කම් හෝ ආබාධ මෙන්ම හදිසි අනතුරු ආදියෙන් ඇතිවන ගැටලු ,පිළිස්සුම් තුවාල නිසා සිදුවන විකෘතිතා ආදිය වෙනස් කිරීම වෙනුවෙනි. ඒ හැරෙන්නට රජයේ රෝහලක නම් රූපලාවණ්‍ය සම්බන්ධ ප්‍රතිකාර සිදු නොවෙයි.
එවැනි ඒවා නිසි පහසුකම් සහිත පෞද්ගලික රෝහල්වල පමණක් සිදුකරගැනීම අනුමත කළ හැකි වුවත් පහසුකම් හා තාක්ෂණයෙන් බැහැර ,රෝහල් ආකාරයෙන් පවත්වාගෙන යන සමහර තැන්වලින් මෙවැනි දෑ සිදුකරවා ගන්නට යෑම අනතුරුදායක බව සිහිතබා ගන්න. එවන් දෑ නිසා ඇතමෙකුට ජීවිතය පවා අහිමි වී යා හැකිය.
බොහෝවිට සම සම්බන්ධ ගැටලු මෙන්ම යම් යම් පිහිටීම්හි පවතින වෙනස්කම් ප්ලාස්ටික් සැත්කම් හරහා නිවැරදි කළ හැකි අතර පියයුරුආදී තැන්වල ඇතිවන වෙනස්කම් ද මෙම ශල්‍යකර්ම මගින් නිවැරදි කෙරෙයි. මේ හැරෙන්නට යම් ශල්‍යකර්ම හෝ පිළියම් වැරදීම නිසා ඇතිවූ ගැටලු නිවැරදි කරන්නටද උපකාරී වනුයේ ප්ලාස්ටික් සැත්කම් යැයි කිවහොත් එහි වරදක් නොවේ.
ඇතැම් පිළියම් සැත්කම්වලින් සිදුකෙරෙන අතර තවත් සමහර පිළියම් සැත්කම් නොවන වෙනත් ක්‍රම මගින් නිවැරදි කෙරෙයි. එයින් ප්‍රධානතම එකකි වයස්ගතවීමත් සමග මුහුණේ ඇතිවන වියපත් බවේ සළකුණු ඉවත් කිරීම. මේ සඳහා බෝටොක්ස් හෝ පිලර් යන ක්‍රමවලින් එන්නතක් ඇසුරු කොටගෙන මුහුණේ වියපත්බව ඇති කරන සලකුණු ඉවත් කරන අතර මෙය පලපුරුදු වෛද්‍යවරයෙක් විසින් කළ යුතු කාරියකි.
එවන් පළපුරුද්දක් නැති අයෙකු විසින් එවැනි ප්‍රතිකාරයක් කරන්නට යෑමෙන් ඇතැම් විට මුහුණේ ඇද බවක් ඇති වීම වැනි තාවකාලික අතුරු ආබාධ ඇති විය හැකිය. නමුත් එවන් ප්‍රතිකාරයක් දීර්ඝ කාලීන නොවේ. එය නැවතත් හයමසක් වැනි කළකින් පසු නැවත කරවා ගත යුතු අතර එයද පවතින්නේ එවන් කාලයක් පමණි.
එන්නත ලබානොගෙන සිටින විට වඩා වියපත්බවක් ඇතිවෙන්නේ යැයි බියපත් විය යුතු නොවන නමුත් වියපත් බවට අදාල ලක්ෂණ ඒ වයස වන විට ඊට අදාලව මතුවන ප්‍රමාණයෙන් නම් මතුවන්නට පුලුවන. මේ හැරෙන්නට එම ක්රමයේ වෙනත් ශාරීරිකව මතුවන අතුරු ආබාධ අවමය.නමුත් සුදුසුකම් නොලත් අයෙකු වෙතින් එවන් ප්‍රතිකාර ලබා ගැනීමේදී පලපුරුද්ද හා නොදැනවත් කම නිසා ඔවුන් විසින් සිදුකරන අත්වැරදි මුහුනේ පියකරු බව නසන්නට නම් ඉඩ තිබේ.
ඒ නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මෙන්ම සුදුසුකම් ලත් රෝහලක් වෙත යොමුවන්නට ඔබ වගබලා ගත යුතුය. බොහෝ දෙනෙකු කැළලි ඉවත් කරගැනීම සම්බන්ධයෙන් වෙහෙස වන අතර ප්ලාස්ටික් සැත්කම් තුලින් මුලු මණින්ම කැළලි ඉවත් කරගත හැකි දැයි විමසයි. නමුත් ඒවා මුලුමණින්ම ඉවත් කළ නොහැකි අතර කැළල පෙනීමේ තීව්‍රතාවය යම් දුරකට අඩුකරවන්නට නම් මෙය සමත් වෙයි.
කැළැලි ඉවත් කරන තවත් බොහෝ ක්‍රම පවතී යැයි පැවසුවත් ඒවා වුවත් මුලුමණින්ම කැළලි ඉවත් කරන්නට හැකියාවක් නොදක්වයි. කැළලි සඳහා ලේසර් යොදාගැනීම , ආලේපන යොදා ගැනීම මෙන්ම ශල්‍යකර්ම ආදියෙන් කරන ප්‍රතිකාර පවතින නමුත් කැළලක් මුලුමණින්ම ඉවත්කිරීමක් කළ නොහැකි වෙයි.බොහෝ විට ඇතැම් පුද්ගලයින් ආලේපන වර්ග මත මුලුමණින්ම විශ්වාසය තබති. නමුත් යම් කිසි එක් කරුණක් උදෙසා පිළියම් බොහෝමයක් ගොඩනැගී ඇත්නම්.
එනම් යම් කැළලක් ඉවත් කිරීමට සමත් යැයි කියන ක්‍රීම් වර්ග වෙළඳපොලේ අති විශාල ප්‍රමාණයක් නිපදවී ඇත්නම් එහි අරුත ඒ කිසිවක් අදාල කාරණය සඳහා සාර්ථක නොවන බවයි. එවන් ආලේපනයක් සාර්ථකබව තහවුරු කරන ලද්දේ නම් එහින් අනතුරුව වෙළඳ පොළට තවත් ආලේපන බිහිවන්නට ඉඩක් නොවේ. ඒ නිසා සමට ගැලපේද නොගැලපේද යන බවවත් නොදන්නා ආලේපන මත විශ්වාසය තැබීම පළක් නැති ක්‍රියාවකි.
ඔබට කිසියම් ආලේපනයක් සුදුසුද නැතිද යන්න තීරණය කරන්නට හැකියාව පවතින්නේ ඔබේ වෛද්‍යවරයාටයි. වෛද්‍ය නිර්ද්ශය මත ලබාගන්නා ආලේපන ඇරෙන්නට කිසිවෙකු හොඳ යැයි කියන ආලේපන ගල්වන්නට යැයි අප ඔබට උපදෙස් නොදෙමු. මෙවැනි ක්‍රීම් වර්ග මේ වන විට ඇස්යට ඇතිවන රැළි සහ අයි බෑග් යනුවෙන් හඳුන්වන නෙරීම් ඉවත් කිරීම සඳහා ද වෙළඳ පොලේ සංසරණය වෙමින් පවතියි.
නමුත් අයි බෑග් ඉවත් කිරීම සඳහා මේ වන විට පවතින දීර්ඝකාලීන ප්‍රතිඵල ලබාදෙන ක්‍රමය වනුයේ ශල්‍යකර්මයි. එන්නත්ද මේ සඳහා භාවිත කරන නමුත් ප්‍රතිඵල ශල්‍යකර්මයේ තරම් දීර්ඝකාලීනව නොපවතී. ලේසර් කිරීම වැනි ප්‍රතිකාර මේසඳහා යොදන නමුත් එයින් සිදුවන්නේ සම තද කිරීමක් මිස අයි බෑගය මුලුමණින්ම ඉවත් කිරීම නොවේ. එයින් එය ඉවත්ව යෑම වෙනුවට සම තද වී වැඩි පුර නෙරා ඇතිබව යටපත් කරදමයි.
ඔබ කිසියම් ආකාරයකින් මෙවන් ප්‍රතිකර්මයක් වෙත යොමුවන්නට අදහස් කරන්නේ නම් ඔබේ ප්ලාස්ටික් ශල්යවෙද්යවරයා හමුවී ඔබේ තත්ත්වය පළමුව සාකච්චා කිරීම වැදගත්ය. ඇතැම් විට එම තත්ත්වය ඔබේ රූපයට හානියක් නොවිය හැකිවා මෙන්ම අවලස්සනක්ද නොවිය හැකිය.
එවැනි කරුණු ඔබේ වෛද්‍යවරයා හා එක්ව තීරණය කරන අතර ඔබ දියවැඩියා හෝ කොලෙස්ටරෝල අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් පළමුව ඔබේ රෝග තත්ත්වය පාලනය කරගැනීම කෙරෙහි ක්‍රියාකාරී වී දෙවනුව ඔබේ ශල්‍යකර්ම සම්බන්ධ තීරණ වෙත එළැඹෙන්න.
ආලේපන හෝ වෙනයම් ප්‍රතිකාර පතා ඔබ ඉදිරිපත්වෙන තැනැත්තාට ඔබට ප්‍රතිකාර කරන්නට පවතින සුදුසුකම් මෙන්ම ප්‍රතිකාර ලබාදෙන ස්ථානයේ පවතින පහසුකම් සැක හැර දැනගන්න. විධිමත් සහ දැඩි සත්කාර ඒකක සහිත රෝහලකදී එවන් ප්‍රතිකාරයකට ලක්වීමෙන් ඔබට ජීවිත අවදානම සම්බන්ධ බියක් ඇති නොවන හැකි අතරම ඔබට නියම කර ඇති ආලේපනවල පිළිකා කාරක වැනි දෑ ඇතුළත් ද යන්න පිළිබඳ සැකයෙන් තොරවිය යුතුය.
ඇතැම් ආලේපන වර්ග විෂවීමෙන් කෙනෙකුට ඇතිවිය හැකි ගැටලු අතර ජීවිත අවදානමද එකකි. කෙසේ නමුත් ශල්‍ය වෛද්‍ය විද්‍යාවේම දිගුවක් වූ ප්ලාස්ටික් ශල්‍ය කර්ම යනු නවීන සමාජයේ මිනිසාට ඇතිවන භාහිර පෙනුම හා ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු ඉතාම සාර්ථකව විසඳීම පිණිස යොදාගත හැකි සාර්ථක ක්රමයකි.
මේ සම්බන්ධයෙන් ඔබ තෝරාගන්නේ අප පෙරකී විශිෂ්ටයන් දාහතර දෙනාගෙන් එක් අයෙකු නම් ඔබට ඇති අවදානමින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ විසින් ඉවත් කරගෙන තිබේ. ඉදිරියේදී අප ඔබ වෙනුවෙන් මේ එක් එක් කරුණු වඩා සවිස්තරව අද සෞඛ්‍ය පිටුව තුළින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමු.